වැඩ කරන එකා කම්කරුවා කළ සැණින් එයට අතිරික්ත දේශපාලන වටිනාකමක් එකතු වන්නේය. ප්‍රාග්ධන හිමියා විසින් අතිරික්ත ශ්‍රමය කොල්ලකනවා යැයි කියමින් බිහිවූ කම්කරුවා වනාහි, එදිනෙදා වැඩපොළේ සිටින පුද්ගලයා නොවේ. එම සංකල්පයට ආ සැණින්, කම්කරුවා වැඩ කිරීමට වඩා බර, වැඩවර්ජන කිරීම සඳහාය. ආයතනයේ සියල්ල ප්‍රශ්න කරමින් හෙතෙම වෘත්තීය අයිතිවාසිකම් ගැන කතා කරන්නේය. ඔය ආකාරයේ කම්කරු හැසිරීම දැන් සකලාංතයෙන්ම ‘අලයක්’ වී ඇතත්, දේශපාලනයේදී තවම යම් ගණනකට කරේ යා හැක්කේ බැවින්, කම්කරු දිනය වෙනුවෙන් හැම පක්ෂයක්ම කඩේ යන්නේය. මේ එවන් මැයි පළමු වැනිදාවකි.
කම්කරු ව්‍යාපාරය මේ රටේ නිදහසට සහ සංවර්ධනය උදෙසා අප්‍රමාණ සේවයක් කර ඇත. ගත වූ ඉතිහාසයේ අප ලෙයින් දහදියෙන්, යකඩින් දිනා ගත් දෑ බොහෝය. ඇලෙක්සැන්ඩර් ඒකනායක ගුණසිංහ හෙවත් ඒ. ඊ. ගුණසිංහයන්ගේ කම්කරු ව්‍යාපාරය ආරම්භ වන්නේ නිදහස දිනා ගැනීමේ ව්‍යාපාරයේ කොටසක් ලෙසය. එය කම්කරුවා කොඩි ගහේ නග්ගවා, නායකයා තෑග්ග ලබා ගන්නා පන්නයේ අරගල නොවීය. මේ රටේ නිදහස් සටන උදෙසා, කම්කරු අයිතිවාසිකම් ද එකතු කර ගත් ‘කතා’ විය.
අද කම්කරු ව්‍යාපාරය යනු දේශපාලන පක්ෂ යන්ත්‍රණයේ එක් අවියකි. පක්ෂයේ අනුබද්ධ සංවිධානයක් ලෙස යූනියන් සිටින්නේ බැවින් ‘පළමුව පක්ෂය ය, දෙවැනුව වෘත්තීය සමිතිය.’ ලෙස මෙම ව්‍යාපාරයේ හැඩය තීරණය වී තිබේ. එහෙම දේශපාලන වැයික්කියකැ සිට කම්කරු ව්‍යාපාරය මෙහෙයවනවා කියන්නේ, මේ තවත් දේශපාලන පක්ෂයක් මිස කම්කරු ව්‍යාපාරයක් නොවන බවය.
දැන් කොහොමටත් මැයි දිනය සමරනු ලබන්නේ ආරම්භක අර්ථයෙන් නොවේ. දේශපාලන ආතල් එකක් සඳහා ය. කම්කරුවා වැනි පද දැන් ‘සොඳුරු අතීතයක්’ සිහිපත් කරනවා විනා, වර්තමානය සඳහා බර අවියක් නොවේය. දැන් බලවත් වී ඇත්තේ ආයෝජකයා ය.
ප්‍රාග්ධනය ද කම්කරුවා ද යන්න වාදය දැන් නිමාවට පත්ව තිබේ. ධනේශ්වර ක්‍රමය තුළ කම්කරුවා යන්න ‘අහෝසි කර්මයක්’ බවට පත්ව ඇත්තේය. ධනවාදයට විකල්පයක් නැත්තේ හෙයින්, අතට හසුවෙන හැම දෙයක්ම එම ප්‍රවාහය හමුවේ, විසන්ධි වී යන්නේය. සංකල්පයක් ලෙස කම්කරුවා සිටින්නේ වුවද ඒ සඳහා එදා තිබූ දේශපාලන හයිය අද නැත. නැඟෙනහිර සහ බටහිර ජර්මනිය එක් කරමින් බර්ලින් තාප්පයේ ගඩොල් ගැලවී යන විටම, කොමියුනිස්ට්වාදයේ අවසානය සටහන් විය.
එතැන් සිට කම්කරුවාට තිබූ ලෝක පරිමාණ ඉල්ලුම නිමා විය. දැන් කම්කරුවා යනු පක්ෂයක සාමාජික සංවිධානයක් සඳහා අනුගත වූ අයෙකි. ඇත්ත කතාව මේකය. අද ලෝක කම්කරු දිනය කියා කම්කරුවා අත්තේ නග්ගා දවසේ ඇන්දවීම කළ හැක්කේය. මහ පොළොවේ නැති දේ එහෙම කියා පළ කළ විට, කම්කරුවා තවත් ඇන්දිය හැකිය. එසේ නොව දැන් ඇති තත්ත්වය කෙබඳුදැයි මේ රටේ කම්කරුවා දැන ගත යුත්තේය. ඊපීඑෆ් සඳහා දායකතත්වය වැනි දේ කම්කරු ව්‍යාපාරය අපට ජනිත කළ වටිනා කියනා අගයන්ය. පැය අටේ වැඩ දිනය, නිවාඩු, ආදිය ලබාදුන් දේ නොව අරගල ඔස්සේ ලබා ගත් දේය. ඒ සඳහා කම්කරු ව්‍යාපාරය කැපකිරීමක් කළේය.
එහෙම අරගල නොවන්නට වහලුන් සේ රැකී රක්ෂා කිරීමේ යුගයක් අප තවම ගෙවනවා ඇත. ඒ සඳහා කම්කරු ව්‍යාපාරයට මේ මැයි පළමු වැනිදා මේ රටේ රැකියා හි නියුතු සියලු දෙනා මල් මාලා පැලඳිය යුත්තේය. එතැන් සිට කතාව ඛේදජනක වන්නේ දැන් ඇති සමාජ දේශපාලන ආර්ථික රටාව තුළ අමුතු ආකාරයේ වැඩ කරන ප්‍රජාවක් බිහිව ඇත්තේ බැවිනි. මෙම ස්තරායනය ‘කම්කරුවා’ ලෙස වර්ග කළ නොහේ. මෙම පිරිස් දරන්නේ පහළ මධ්‍යම පාන්තික මානසිකත්වය ය.
1867 වසරේ කාල් මාක්ස් ‘ප්‍රාග්ධනය’ කෘතියේ පළමු කාණ්ඩය ප්‍රකාශයට පත් කළේය. ඒ සන්දර්භය ලෝකයේ ප්‍රධාන දේශපාලන ධාරාවක් නිර්මාණය කළේය. යුගය දැන් අහවර වී ඇත්තේ හෙයින්, ඒ මත්තේ සාදාතනිකව නවාතැන් ඉදිකර ගත්තේ නම්, කම්කරුවාට ද මාක්ස්ගේ සොහොන මතම’ මිය යා හැකිව තිබුණි. මේ ආකාරයට කම්කරු සංකල්පය ගල් ගස්සවාගත යුතු නැත. බාල්දු කරගත යුත්තේ ද නැත. නව අර්ථකථන ඔස්සේ අපේ ගමන ඉදිරියට යා යුත්තේය. ඉල්ලීම් ආදිය දිනා ගෙන එහෙම ගමනක් යෑම සඳහා විධිමත් කම්කරු පෙළගැස්මක් සේම, නව අර්ථකථන ද අවශ්‍ය වන්නේය.
චීනය කම්කරුවා මාක්ස්වාදයේ හෝ මාවෝවාදයේ ගල් කෙරුවේ නැත. එවන් සිහිවටන පාරේ පැත්තක, යහමින් තබා, ඩේන් ෂියා ඕ පිං අලුත් ගමනක් ගියේය. ප්‍රාග්ධනය මහ පාරට දමා කම්කරු විමුක්තිය උදා කරගත නොහේ. චීනය කම්කරුවා බදාගෙනමැ වැළලී යනවා වෙනුවට, ප්‍රාග්ධනය සමඟ අලුත් ගමනක් ආරම්භ කළේය. ලෝකයේ දෙවැනි විශාලම ආර්ථිකය බවට චීනය පත්වූවා කියන්නේ, එහි කම්කරුවාගේ ජීවිතය සුඛිත මුදිත වීමය.
සමහර පක්ෂ දැන් කම්කරු ව්‍යාපාරය කප්පම් ව්‍යාපාරයක් බවට පත් කරගෙන තිබේ. සිය යූනියන් එකක් ආරම්භ කරන බව කියා, මාසයකට ගාණක් කඩා ගැනීම එම කම්කරු නායකයෝ යහමින් සිදු කරන්නාහ. මේ ජාතියේ කම්කරු ව්‍යාපාරයක් ද මැද්දේ අප අද කම්කරු දිනය පවත්වන්නේය.
මේ නූතන කම්කරු රාජ්‍යයේ හැඩය හෙයින්, ගුණසිංහ ප්‍රතිමාවට මල් දම් පලඳවා අද උදෑසන ආරම්භ වන මැයි දිනය, හැන්දෑවට ගතමනාවක්, බත් පැකට් එකක් සහ කාලක් සමඟ වැළලී යා යුත්තේ නැත. අලුත් කතිකාවතක් ඔස්සේ සිය නවාතැන්පොළ කුමක්දැයි කම්කරු ව්‍යාපාරය හඳුනාගත යුත්තේය.