Friday, May 9, 2025
Home » සුචරිතයෙන් බිහි වූ පොදුජන ජනපති රණසිංහ ප්‍රේමදාස

සුචරිතයෙන් බිහි වූ පොදුජන ජනපති රණසිංහ ප්‍රේමදාස

by sachintha
May 1, 2024 1:29 am 0 comment

ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපති ඔහුය. සාමාන්‍ය පවුලක උපන් අයෙක් මෙම තනතුරට පත්වූ පළමු හා අවසාන අවස්ථාව වීමටද හැකිය. එවන් තනතුරක් කරා ඇදී යන සාමාන්‍ය පුද්ගලයෙකුට අපමණ බාධා කම්කටොලු රැසකට මුහුණ දීමට නිරන්තරයෙන් සිදු වේ. එසේ එල්ලවන බාධා හා කම්කටොලු මැඬගෙන ඉදිරියට යාමට හැක්කේ විශිෂ්ට චරිත ඇති අයට පමණි. අපමණ විරුද්ධ

බලවේග හා නොයෙකුත් කෙනෙහිලිකම්වලට මැදිව විධායක ජනාධිපති ධුරය දක්වා ආ මෙම අසහාය නායකයා වෙන අයකු නොව දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාය.

ඔහුට මුහුණ දීමට තරම් වූ බාධා මෙතෙක් බිහි වූ කිසිදු රාජ්‍ය නායකයෙකුට මුහුණ දීමට සිදුවුයේ නැත. එ බාධා සියල්ල මැඬගෙන තමන් ආ ගමන් මඟෙහි ඉදිරියට යාමට ඔහුට හැකි වූයේ ඔහු තුළ වූ මනා කැපවීමත් කුඩා කළ සිට රැකගෙන ආ සුචරිතවත් දිවියත් සුචරිත ව්‍යාපාරය නම් සමාජ සේවා ආයතනය මඟින් ලැබූ පන්නරයත් එම ගමන් මඟ එළිපෙහෙළි කිරීමට මහත් රුකුලක් විය.

දශක හතරකට ආසන්න කාලයක් ඔහු දේශපාලනයේ නිරත විය. දේශපාලනයේ අත්පොත ලෙස සැලකෙන පළාත් පාලනයෙන් දේශපාලනයට පිවිසි එතුමා ක්‍රම ක්‍රමයෙන් දේශපාලනයේ හිණිපෙත්තටම ගමන් කළ නායකයෙකි. රණසිංහ ප්‍රේමදාසයන් දේශපාලනයට පිවිසීමට පෙර සිටම ශ්‍රී සුචරිත ව්‍යාපරය තුළින් විශාල සේවාවක් අසරණ දිළිඳු දූ දරුවන් වෙනුවෙන් ඉටු කළේය. අධ්‍යාපනික ආගමික හා සමාජයීය වශයෙන් ඔවුන්ව නඟාසිටුවීමට ඔහු නිරතුරුව කටයුතු කළේය. ඔහු විසින් ආරම්භ කළ ශ්‍රී සුචරිත ව්‍යාපාරයට යම් යම් අවස්ථාවල තර්ජන ගර්ජන පැමිණිය ද එතුමා ආරම්භ කළ සමාජ සේවා කටයුතු ආපස්සට ගැනීමටත් එය නවතාලීමටවත් කිසිවිටක සූදානම් නොවීය. එතුමා වෙලාවට වැඩ කළ රාජ්‍ය නායකයෙකි. යම් වැඩක් යමෙකුට පැවරුවද එම කටයුත්ත නිසි අයුරින් නිසි වෙලාවට ඉටු කළේද යන පසු විපරම සෑම විටකම නොවරදවා සිදු කළේය. ගම් උදාව උදා කළ ගම්මාන හා ආදර්ශ ගම්මාන මඟින් එම ප්‍රදේශයේ නිවාස ඇතිවීම, මංමාවත් වැඩි දියුණු වීම් නව මාර්ග, නව ගොඩනැඟිලි, පානීය ජලය ආදී පොදු පහසුකම් ඇති කිරීම, ටවර් රඟහල හා සරසවිපාය මඟින් අලුත් කලාකරුවන් බිහි කිරීම එතුමා අතින් සිදු වූ දැවැන්ත සේවාවන් වෙති. ජනසවිය, නිවාස දස ලක්ෂය වැඩසටහන, පාසල් දරුවන්ට දිවා ආහාරය, නොමිලේ නිල ඇඳුම්, දැවැන්ත ඇඟලුම් කම්හල් ආරම්භ කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමියා වූයේ රණසිංහ ප්‍රේමදාසයන්ය. අලුයම 4 සිට මහජන දුක්ගැනිවිලි සොයා බලමින් ඊට අදාළ නිලධාරින් ද සම්බන්ධ කර ගනිමින් රාත්‍රි 11 පමණ වන තෙක් ජනතා සේවයට කැපවූ සැබෑම ජනතා සේවකයෙකි. රට පුරා උදාගම් අරඹමින් නිවාස විප්ලවයක් ඇති කළේය. එමඟින් බොහෝ අසරණ ජනතාවට හිසට සෙවණක් ලැබිණ. කිසිවෙකුටත් අත නොපා තම දෙපයින් නැඟීටීමට අවස්ථාව උදාකර දෙන ලදී.

එතුමා ආරම්භ කළ ඇඟලුම් කම්හල් මඟින් නව රැකියා ලක්ෂ ගණනින් බිහි වූ අතර විදේශ විනිමය අදටත් රට තුළට ගලා එන්නේ මෙම කර්මාන්තශාලා නිසාවෙනි. දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා ද එක තැන පල් නොවූ ගලන ගඟකි.

තාරක වික්‍රමතුංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT