චීනයේ දැනට ක්‍රියාත්මක වන විශාලතම කුඩා සහ මධ්‍ය පරිමාණ වාණිජ සංගමය ( China Association of Small and Medium Scale Commercial Enterprises) මෙරට කෘෂිකාර්මික කටයුතු නංවාලීමට සහයෝගය පළ කර තිබේ.
මේ දිනවල මෙරට සංචාරයක නිරතව සිටින එම සංගමයේ නියෝජිත පිරිසක් පසුගියදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා හමු වූ අවස්ථාවේ මේ බව දැනුම් දී ඇත. මේ චීන නියෝජිත පිරිසේ නායකත්වය එම සංගමයේ සභාපති මෙන්ම බීජිං හි Technology Development Co. Ltd ආයතනයේ සභාපති Zhingong Borui මහතා විසින් දරනු ලැබිණි.
මෙරට වගා කරන අන්නාසි, කෙසෙල් ඇතුළු පලතුරු සහ එළවළු වගාවට ද, තේ වගාව නංවාලීමට තාක්ෂණික සහයෝගය දීමට ද, එම නිෂ්පාදන චීනයට අපනයනය කිරීමට අවශ්‍ය සියලු සහයෝගය දීමට ද තම සංගමය සූදානම් බව එම සංගමයේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන කෘෂිකාර්මික කටයුතු පිළිබඳව ඕනෑම යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට තම සංගමය සූදානම්ව සිටින බව ද ඔවුහු පැවැසූහ.
මෙහිදී අදහස් පළ කළ ඇමැති මහින්ද අමරවීර මහතා මෙලෙස පැවැසුවේය.
“මේ වන විට මෙරට ආයෝජනයට රටවල් ගණනාවක් ඉදිරිපත්ව තිබෙනවා. මෙරට ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය ගත් පියවර සාර්ථකවී තිබෙනවා.
චීනයේ කුඩා හා මධ්‍ය පරිමාණ වාණිජ සංගමයෙන් මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත කෘෂිකාර්මික, සත්ත්ව පාලන වැඩසටහන් සම්බන්ධව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස එම නියෝජිත පිරිසට දැනුම් දුන්නා. මෙරට කිරි, බිත්තර සහ මස් නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය දෙන ලෙසත් ඉල්ලීමක් කළා.”
මෙහිදී අදහස් පළ කළ චීන නියෝජිත පිරිස පැවැසුවේ මෙරට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව ඉදිරිපත් කරන කවර ඉල්ලීමක් වුවත් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි. මේ කටයුතු ඉදිරියට සම්බන්ධීකරණය සඳහා චීනයේ නියෝජිතයකු සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් ද පත් කිරීමට පියවර ගනු ලැබීය.
බුද්ධිකා ඉඹුලාන