මහත්තයා වැඩට යන්න ලැහැස්ති වෙලා වාහනය නිවස අසල කන්ද උඩ නතර කරලා වාහනයෙන් බැහැලා ආපහු ගෙදරට එන්න ආවා. අත් තිරිංග බුරුල්වී වාහනය පල්ලමේ මහත්තයාගේ පැත්තට ආවා ගරාජයේ බිත්තියටත් වාහනයටත් සිරවූ මහත්තයා බිම වැටිලා හිටියා . වාහනය කැපිලා එහා පැත්තට ගිහින් මිදුලේ පෙරළුණා. අපි මහත්තයාව බියගම රෝහලට ගෙනිච්චා. රෝහලේ වෛද්‍යවරු කිව්වා මහත්තයා මිය ගිහින් කියලා.
තම නිෙවස ඉදිරිපිට අධික බෑවුම් සහිත මාර්ගයේ තමා විසින් පදවාගෙන ආ රථයටම යටවීමෙන් ඉකුත් (29) දා පෙරවරුවේ මියගිය බියගම සියඹලාපේ දකුණ ගලහිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි ගීතරත්නගේ සුගත් විජේන්දා (57) නමැති ව්‍යාපාරිකයාගේ මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිය වන ඉද්දමල්ගොඩගේ චමිලා දිල්රුක්ෂි (58) මහත්මිය පැවසුවාය.
බියගම හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය යූ. එල්. එස්. හර්ෂජිත් ගුණසේකර මහතා විසින් බියගම ප්‍රාදේශීය රෝහලේදී ඉකුත් (29)දා දහවල් මෙම මරණය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවීය.
සපුගස්කන්ද පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.පී. කුලරත්න මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් (57226) බණ්ඩාර මහතා විසින් සාක්ෂි මෙහෙයවීය.
මරණකරුගේ දියණිය වන ගීතරත්නගේ සඳලි මල්ෂාණි විජේන්දා (29) මහත්මිය ද මෙහිදී සාක්ෂි ලබා දුන්නාය.
මෙහිදී වෛද්‍ය හර්ෂජිත් ගුණසේකර මහතා විසින් මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස සපුගස්කන්ද පොලිසියට නියෝග කළාය.
රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ජේ.සී.බී. කොලොන්වැල්ල මහතා විසින් ඉකුත් (29දා) සවස මෙම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර එහිදී මේ පිළිබඳව නිගමනය වූයේ අධික තෙරපුමෙන් හෘදය තැලීම හේතුවෙන් ඇතිවන පීඩාවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
මෙහිදී ඉදිරිපත්වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා කෙරෙහි අවධානය යොමු කළ හදිසි මරණ පරීක්ෂකවරයා මෙය හදිසි අනතුරකින් සිදුවූ මරණයක් බව මරණ පරීක්ෂක නිගමනය කළේය.
සුදත් පුබුදු කීර්ති – දෙල්ගොඩ සමුහ
මහානාම විතානගේ – මල්වාන සමුහ