Friday, May 16, 2025
Home » ශ්‍රී ලංකා ‘ඒ’ 2-0කින් පෙරට

ශ්‍රී ලංකා ‘ඒ’ 2-0කින් පෙරට

by sachintha
May 1, 2024 1:40 am 0 comment

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සමඟ පැවති දෙවැනි නිල නොවන එක්දින තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.

මේ සමඟ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් ඉනිමක් ඕවර 30කට සීමා වූ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගන් ‘ඒ’ පිල ඕවර 27.2කදී ලකුණු 121කට දැවී ගිය අතර, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව හිමි වූ 101ක ඉලක්කය පන්දු 88ක් ඉතිරිව තිබියදී කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමින් සපුරා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ පිල සමත් විය.

ශ්‍රී ලංකා පිලේ ජය තහවුරු කළ කමිල් මිෂාර නොදැවී ලකුණු 45ක් සහ නුවනිඳු ප්‍රනාන්දු නොදැවී ලකුණු 17ක් රැස් කළ අතර, ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නිශාන් මධුෂ්ක ලකුණු 14කට සහ ළහිරු උදාර ලකුණු 20කට දැවී ගියහ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගන් ‘ඒ’ ඉනිමට ඕවර 16.1කදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ වන විට ඔවුන් අසීරු තත්ත්වයක පසුවූයේ කඩුලු 6ක් දැවී ලකුණු 62ක් පමණක් රැස් කර තිබීම හේතුවෙනි. ඇෆ්ගන් මුල් පිතිකරුවන් 6 දෙනා ලකුණු 30ක් වෙද්දී පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර, 7 වැනි කඩුල්ලට එක් වූ ෆර්මානුල්ලා සාෆි සහ ක්වයිස් අහමඩ් ලකුණු 75ක සබඳතාවක් ගොඩනඟමින් කණ්ඩායම ලකුණු 100 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. සාෆි ලකුණු 37කට දැවී ගිය අතර, ක්වයිස්ගේ ඉනිම ලකුණු 46කට සීමා විය. ඔවුන් දෙදෙනා හැර ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ ෂහිදුල්ලා කමල්ට (16) පමණි. පන්දු යැවීමේදී මොහොමඩ් ශිරාස්, සහන් ආරච්චිගේ සහ චාමික ගුණසේකර කඩුලු 2 බැගින් දවා ගත්හ.

දෙපිල අතර තෙවැනි එක්දින තරගය මේ 3 වැනිදා හම්බන්තොටදීම පැවැත්වේ.

ඇෆ්ගන් ‘ඒ’ – 121 (ඕවර 27.2) ක්වයිස් අහමඩ් 46, ෆර්මානුල්ලා සාෆි 37 (මොහොමඩ් ශිරාස් 17/2, සහන් ආරච්චිගේ 23/2, චාමික ගුණසේකර 28/2)

ශ්‍රී ලංකා ‘ඒ’ – 104/2 (ඕවර 15.2) කමිල් මිෂාර නොදැවී 45, ළහිරු උදාර 20

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT