Thursday, May 15, 2025
Home » අපරාජිත ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු වරට අද උගන්ඩාව හමුවෙති
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය

අපරාජිත ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු වරට අද උගන්ඩාව හමුවෙති

by sachintha
May 1, 2024 1:45 am 0 comment

කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා අබුඩාබියේ පැවැත්වෙන තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා පිල අද උගන්ඩාවට එරෙහිව තෙවැනි තරගයට එක් වෙයි. තරගය මෙරට වේලාවෙන් පස්වරු 4.30ට අබුඩාබියේ සෙයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මේ දෙපිල හමුවන පළමු අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකා පිල මේ වන විට තරගාවලියේ සහභාගි වූ තරග ද්විත්වයම ජය ගනිමින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර, උගන්ඩාව සහභාගි වූ තරග තුනෙන් එකක් ජය ගෙන සිටී.

පළමු තරගයේදී තායිලන්තය ලකුණු 67කින් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවැනි තරගයේදී ස්කොට්ලන්තයට එරෙහිව කඩුලු 10ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.

නායිකා චමරි අතපත්තු දෙවැනි තරගයේදී අර්ධ ශතකයක් රැස් කරමින් ලකුණු අතරට පිවිස සිටින අතර, කඩුලු 6ක් දවාගෙන සිටින ඉනෝෂි ප්‍රියදර්ශනී තරගාවලියේ කඩුලුලාභිනියන් අතරේ ඉදිරියෙන්ම සිටින්නීය.

ස්කොට්ලන්තය සහ තායිලන්තයට පරාජය වූ උගන්ඩා පිල අමෙරිකාවට එරෙහිව කඩුලු 8ක ජයක් වාර්තා කර තිබේ. කෙසේ වෙතත් අද තරගයේදී උගන්ඩාවට දැඩි පීඩනයක් එල්ල වී ඇත්තේ මේ තරගාවලියට එක්ව සිටින ප්‍රබල කණ්ඩායම ශ්‍රී ලංකා පිල බැවිනි.

මේ අතර ‘බී’ කාණ්ඩයෙන් අයර්ලන්තය අපරාජිතව ඉදිරියෙන් පසුවන අතර, නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල සිටී.

මේ තරගාවලියේ සිව්වැනි දිනය වන අද සිම්බාබ්වේ – නෙදර්ලන්තය, වනුවාටු – අයර්ලන්තය සහ තායිලන්තය – අමෙරිකාව අතර තරගත් පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT