ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහර දෙන මහනුවර කණ්ඩායම පළමු දිනය නිමා වන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 279ක් රැස් කර තිබිණි.
අශේන් ඩැනියෙල් ලකුණු 29ක් සහ නායක ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 10ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ගාල්ල කණ්ඩායම සතු වූ අතර, ඔවුන්ගේ ආරාධනයෙන් පිටියට පිවිසි මහනුවර ඉනිමට සාර්ථක ආරම්භයක් දීමට සහන් කෝසල සමත් වූයේ පන්දු 114කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 84ක් රැස් කරමිනි. මුල් කඩුලු 2 ලකුණු 41ක් තුළ බිඳවැටීමෙන් අනතුරුව සහන්ට එක් වූ සිතාර ගම්හාන් ලකුණු 111ක සබඳතාවක් පිහිටුවීය. සහන් දැවී යෑමෙන් එම සබඳතාව නිමාවූ අතර, තම අන්තය රැකගත් සිතාර ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 90ක් රැස් කර තිබුණේ පන්දු 184කදී හතරේ පහර 7ක් සමඟිනි. මේ තරගාවලියේදී මහනුවර කණ්ඩායම නිරෝෂන් දික්වැල්ල විසින් මෙහෙයවූ අතර, ඔහු ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට නම් කර ඇති හෙයින් මේ තරගයට එක් නොවිණි.
අද තරගයේ දෙවැනි දිනයයි.
මහනුවර පළමු ඉනිම – 279/8 (ඕවර 86) සිතාර ගම්හාන් 90, සහන් කෝසල 84, අශේන් ඩැනියෙල් නොදැවී 29 (අසංක මනෝජ් 28/3, තිලංග උදේෂන 56/2)
නිරෝෂාන් ප්‍රියංකර