Thursday, May 15, 2025
Home » රාජ්‍ය ආයතන විකුණන්න යන්නේ IMF කොන්දේසි අනුවයි

රාජ්‍ය ආයතන විකුණන්න යන්නේ IMF කොන්දේසි අනුවයි

- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්

by sachintha
May 2, 2024 3:23 am 0 comment

පසුගිය වසරේ තමන් පැවසූ දේ මේ වන විට යථාර්ථයක් වෙමින් තිබෙන බවත්, එක් පැත්තකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග, නිර්දේශ හා කොන්දේසි මේ රටේ සාමාන්‍ය ජනතාවට සම්පූර්ණ පීඩනයක් සහ බලහත්කාරකමක් වෙමින් ක්‍රියාත්මක වෙමින් ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණයේදී ඊයේ (1) පැවැත්වුණු මැයි දින රැලියට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර් ගුණරත්නම් මහතා:

“එදා 1886 හේමාකට් චතුරස්‍රයේ සැමරීමට අවුරුදු 138ක් වෙලා තිබෙනවා. ඒ වගේම අපි දන්නවා 1889 අපේ ආදරණීය ගුරුවර එංගල්ස් සහෝදරයාගගේ යෝජනාවක් අනුව තමයි 1889දි මේ මැයි දිනය සැමරීම කියන කාරණය ලෝකයට එකතු වෙන්නෙ සහ කම්කරු ජනතාවට එකතු වෙන්නෙ. ඒ අනුව තමයි 1890 දි පළමුවැනි මැයි සැමරීම සිදු වෙන්නෙ. එදා 2023 දී නුගේගොඩ ජාත්‍යන්තර කම්කරු දිනයේදී අපි තේමාවක් ඉදිරිපත් කළා. ඒ තේමාවේ අඩංගුක් තිබුණා. ඒ තමයි IMF මර උඟුල සහ ඉන්දීයවිජිතකරණය ගැනයි. ඒ වගේම අමෙරිකානු මැදිහත්වීම් ගැන එදා අපේ තේමාවන් ලෙස ඉදිරිපත් කළා. අද වෙන කොට අපි ඉදිරිපත් කරන්නෙත් එම තේමාවමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මර උගුල සහ ඉන්දියානු විජිතකරණය පැරදවීම සඳහා කම්කරු පන්තියේ වැඩ කරන ජනතාව එකතු වෙන්න ඕනෙයි කියන යෝජනාවත් එක්ක තමයි මෙවර 2024 ජාත්‍යන්තර කම්කරු දින රැළියේ තේමාව සකස් කෙරුණේ.

එක් පැත්තකින් අපි ගිය අවුරුද්දෙ කතා කරපු දේවල් මේ වෙනකොට යථාර්ථයක් වෙමින් තිබෙනවා. එක පැත්තකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග, නිර්දේශ, කොන්දේසි මේ රටේ සාමාන්‍ය ජනතාවට සම්පූර්ණ පීඩනයක් සහ බලහත්කාරකමක් වෙමින් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. බදු බර වැඩි වෙලා තිබෙනවා, වැට් වැඩි කළා, බඩු මිල ඉහළ ගියා, ඉන්ධන මිල ඉහළ ගියා, විදුලි බිල ඉහළ ගියා, ජල ගාස්තුව ඉහළ ගියා. මොනවද ඉහළ නොගියෙ. ඔක්කොම ඉහළ ගියා. මේ දවස්වල නම් ඡන්දයක් ගැන හිතලද කොහෙද පොඩි පොඩි සහන දෙන්න රට වටේම එක එක දේවල් කරමින් යනවා. මේවා ඉතිහාසය පුරාම දේශපාලනයේ කරපු දේවල්. ඒ සම්බන්ධව මේ රටේ ජනතාවට ලොකු ඉතිහාසයක් තිබෙනවා. සෙවිලි තහඩුවට, ගඩොල් කැටේට ඡන්දය දෙන්න එපා කියලා සාකච්ඡාවක් ලෝකයේ තිබෙනවා. නමුත් අපි දන්නවා මේ රටේ මේ තියන ආර්ථික ව්‍යසනය මේ වගේ සුළු සහනවලින් බේරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තිබෙන්නෙ. මේ රටේ සාමාන්‍යය ජනතාව අද වෙනකොට මේ තියන ආර්ථික පීඩන තත්ත්වයේ තරම දන්නවා. නාගරිකව වැඩ කරන කම්කරුවන්ගේ රැකියා ප්‍රතිශතය වේගයෙන් පහළ බැහැලා.

එදා අපි 2023 වසරේදී කිවුව කාරණය අද වෙනකොට තහවුරු වෙමින් යනවා. අපි ඉන්නෙ ඒ පීඩනයට ගොදුරු වුණු ජනතාවක් හැටියටයි. එදා අපි IMF කොන්දේසි ගැන කියනකොට, ඒකෙ ක්‍රියාකාරීත්වය ගැන කියනකොට අපි ඉන්නෙ ඒකෙ පීඩනයට ලක් වුණු ජනතාවක් ලෙසයි. රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශ යන සියලුම ක්ෂේත්‍රවල වැඩ කරන අය, සුලු ව්‍යාපාර කරන අය, ස්වයං රැකියා කරපු අය, ගොවි ජනතාව, ධීවර ජනතාව යන සියලුම බහුතරයක් ජනතාව අද වෙනකොට මේ පීඩනයට ගොදුරු වෙලා ඉන්නෙ. මේ IMF කොන්දේසි අනුමත කරන්නෙ නැහැ’ බදු බර වැඩි වුණේ, රාජ්‍ය ආයතන විකුණන්න යන්නෙ මෙ සියල්ලම සිදු වෙන්නෙ ඒ අනුවයි.”

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා:

“පැය අටක වැඩ දිනයක්, පැය අටක නින්දක්. පැය අටක සමාජ ජීව්තයක් තමයි අවුරුදු 138 කට කලින් ලෝක කම්කරුවන්ගේ ඉල්ලීම් බවට පත් වුණේ. උද්ඝෝෂණ කෙරුණා, විරෝධතා කෙරුණා, ඉල්ලීම එක පාර දෙන්න පාලකයා කැමති වුණේ නැහැ. ඒ නිසා මොකද වුණේ. ඔගස්ටස් ස්පයිස් යන තරුණ නායකයා ඇතුළු කම්කරු නායකයන් පස් දෙනෙක් එල්ලලා මැරුවා. විරෝධය පල කිරීම, අයිතීන් ඉල්ලීම වැරැද්දක් කරලා ඔවුන් පස් දෙනෙක් මරලා දැම්මා. නමුත් ඉතිහාසය ඔවුන්ව නොදොස් කොට නිදහස් කර හමාරයි. ඇයි අපි එහෙම කියන්නෙ. අද ජාත්‍යන්තර කම්කරු දිනයේ මැයි දිනවලින් සහ මැයි රැළිවලින් කොළඹ අහස ගිඟුම් දෙනවා. හැබැයි අපි කියනවා එදා එළියට බැහැපු කම්කරුවා තමන්ගේ ලේවලින්, තමන්ගේ ජීවිතයෙන් ජයග්‍රහණය අත්පත් කරපු සටන, අරගලයේ පාඩම රත් පැහැයෙන් මිස වෙනත් පැහැයකින් වර්ණ ගන්වන්න බැහැ. අරගලයේ සංකේතය ඒක තමයි. ඒක හම්බ වුණේ මිනිස්සුන්ගේ ලේවලින් සහ රුධිරයෙනුයි. එහිදී පස් දෙනෙකුට දිවි අහිමි වුණා. තවත් පිරිසක් තුවාල වුණා. තවත් පිරිසක් තමන්ගේ ජීවිතයේ විවිධ විදියට වන්දි ගෙවුවා. පාලකයන්ගේ බලය හමුවේ කළ නොහැකි යැයි කියපු, ජයග්‍රහණය ලබන්න පුළුවන් කියලා කියපු අරගලයක් පිළිබඳ මතකය අපි අවධි කරන්නෙ. මේ වෙන කොට ලෝකයේ තිබෙන තත්ත්වය අපට අමතක කරන්න බැහැ. ඒ නිසා අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දිනයේ රැළියේ ආරම්ක අදහස් දැක්වීමේදී පලස්තීන ජනතාවට අපේ සටන්කාමී සහෝදරත්වයේ දෑත් අපි දිගු කරනවා. ඒක අපි කරන්නෙ වෙන මුකුත් හින්දා නෙමෙයි. ගාසා තීරයේ මේ වෙනකොට මෑත ඉතිහාසයේ දරුණුතම සමූල ඝාතනය සිදු වෙනවා. ඒක තරුණයන්ට බලපානවා. ඒක කාන්තාවන්ට, ශිෂ්‍යයන්ට, වැඩ කරන ජනතාවට බලපානවා. දැන් ලෝක යුද්ධයකට අර අදිමිනුයි තිබෙන්නෙ. කාටද වන්දි ගෙවන්න වෙන්නෙ? මේ ලෝකෙ ඉන්න වැඩ කරන පන්තියටයි වන්දි ගෙවන්න වෙන්නෙ.”.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ ඇතුළු පක්ෂ සාමාජිකයන් මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාක්ෂිකයෝ රැසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

නෙත්මි පූජනී රත්නායක

ඡායාරූප – ශාන් රූපස්සර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT