මාලබේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වූ බූරු නිරෝෂා නැමැත්තිය රුපියල් ලක්ෂ 15කට අධික මත්කුඩු තොගයක් බෙදා හැරීමට ත්‍රිරෝද රියකින් රැගෙන යමින් සිටියදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (01) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරක් මත සැකකාරිය ගමන් ගත් ත්‍රිරෝද රථය බත්තරමුල්ල, සුභූතිපුර හංදියේදී නවතා පරීක්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 810ක් සොයාගෙන ඇති අතර, ඇයගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇය පදිංචි මාලබේ, හෝකන්දර පිහිටි නිවෙසේ තිබී හෙරොයින් ග්‍රෑම් 08 මිලි ග්‍රෑම් 430ක් සොයා ගත් බව පොලිසිය පවසයි.
සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සමඟ සිටි පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ද ඇයට මත්ද්‍රව්‍ය බෙදා හැරීමට සහය වූ අයකු බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ. සැකකාරිය විසින් දිවයිනේ විවිධ ස්ථානවල මත්ද්‍රව්‍ය සඟවා තබා පසුව අවශ්‍ය පුද්ගලයන්ට ඒවා බෙදා හැර ඇති බවත්, මේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන මෙහෙයුම්කරු දැනට බන්ධනාගාරගතව සිටින අයකු බව ද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව මෙයට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධව බන්ධනාගාරගතව සිට නිදහස්ව පැමිණ නැවත මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන අතර, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා මුදලින් දිනකට රුපියල් 10,000ක් දැනට බන්ධනාගාරගතව සිටින ඇයගේ අනියම් සැමියාගේ නඩත්තුවට බන්ධනාගාරයට රහසේ යැවීමට කටයුතු කර ඇති බවත්, ඇයගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවත් පොලිසිය සඳහන් කරයි.
සැකකාරිය සතු මාලබේ පිහිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නිවෙස තුළ බූරුවා ගැසීම වැනි නීති විරෝධී ක්‍රියා මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම දිගින් දිගටම කරගෙන ගොස් ඇති බවට අනාවරණය කරගෙන ඇතැයි පවසන පොලිසිය සැකකාරිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ගෙන වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ වැටලීම මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිට මහතාගේ නියෝග පරිදි, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඉන්දික විරසිංහගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරික්ෂක ජයරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිදු කර තිබේ.