ලෝක ඉතිහාසයේ වැඩ කරන ජනතාවට සැබෑ යුක්තියක් ඉෂ්ට වෙලා තියෙන්නේ මානව දයාව සහිත ස්වභාව ධර්මයට ආදරය කරන සමාජවාදී රාජ්‍ය පද්ධතියකින් මිස අධිරාජ්‍යවාදයට ගැතිකම් කරන පක්ෂයකින් නොවන බව එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා පෙරේදා (01) කොස්ගස් හන්දියේ පැවති මැයි දින රැලියට සහභාගි වෙමින් පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.
“අද ඔබ අහලා තියෙනවාද යූඑන්පීයේ රැලිවලවත්, පොහොට්ටු රැලිවලවත්, මාලිමාවේ රැලිවලවත්, සමඟි ජනබලවේගය හෝ අනිත් වාමාංශික පක්ෂවල රැලිවලවත් ඔබට හෝ වැඩ කරන ජනතාවට සැබෑ විමුක්තියක්, සැබෑ සාධාරණයක් ඉෂ්ට වන විශ්වාසයක් තියෙන කතාවක් නෑ. කවදාවත් එහෙම වෙන්නෙත් නෑ.
අද මැයි දින රැලිවලවත් මේවා කතා කෙරෙනවාද, නෑ ඒ අය කතා කරන්නේ ඒ අයගේ ජනාධිපතිවරයා ඉදිරියට ගන්නා කතා විතරයි. ඒක තමයි රනිල් කරන්නේ. ඒක තමයි මහින්ද කරන්නේ. ඒක තමයි සජිත් කරන්නේ. ඒකම තමයි අනුර කුමාර දිසානායකත් කරන්නේ. අනුර කුමාර දිසානායක කියන්නේ ඒ අය අඳින ඇඳුමවත් සල්ලි දීලා ගන්නේ නෑ කියලා. ඒවා දෙන කෙනෙක් දෙන්නේ නිකම්ම නෙමෙයි. අනාගත බලාපොරොත්තු ඇතුවයි කියන එකත් මතක තබා ගත්තොත් හොඳයි. කවදා හෝ අනුරට බලය දුන්නොත් වෙන්නේ ගෝඨාභයට බලය දීලා කර ගත් එකේ අනිකයි. මෙයා එතරම් කාලයක්වත් කරයිද කියලත් සැකයක් තිබෙනවා.”