වයඹ පළාතේ හිරියාල හත්පත්තුවේ නාගල නම් කඳුවැටිය පාමුල හද්දා පිටිසර ගමක 1948 ජනවාරි 7 වැනි දින උපත ලැබූ හිටපු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රි ලංකා මහජන පක්ෂයේ හිටපු නායක ආචාර්ය රංජිත් නවරත්න යුග පුරුෂයා දැයෙන් සමුගෙන 11 වසරක් පිරීම නිමිත්තෙන් 11 වැනි ගුණානුස්මරණය හෙට (04) පස්වරු 2.30ට කුරුණෑගල නගර ශාලාවේදී පැවැත්වේ.
මේ ලිපිය ඒ නිමිත්තෙනි.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීසි උප ගුරුවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු පුහුණු උපාධිධාරි ගුරුවරයෙකි. ඒ සියල්ලට ඔහු පන්නරය ලැබුවේ ගමේ පිහිටි නිකවැව, දේවානම්පියතිස්ස විද්‍යාලයෙනි.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙකි. වයඹ පළාත් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂවරයෙකි. වසර 21ක් තුළ ගුරුවරයකු ලෙසත්, අධ්‍යාපන අධ්යක්ෂවරයකු ලෙසත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට විශිෂ්ට සේවයක් කළ අයෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධාන පිහිටුවන්න සුවිශේෂී මෙහෙවරක් කළ අයෙකි. එම පක්ෂයේ හැල හැප්පීම් හා කැඩී බිඳීම් හමුවේ කලකිරුණු ආචාර්ය රංජිත් නවරත්න 1984 ජනවාරි 22 වැනි දින බිහි වූ ශ්‍රී ලංකා මහජන පක්ෂය ආරම්භ කරන්න සහායෝගය දුන්නේය. 1988 ජූලි මස 10 වැනි දින එම පක්ෂයේ උප ලේකම් ලෙසත්, 1989 නොවැම්බර් මස 12 වැනිදා එහි උප සභාපති ධුරයත් හොබවමින් එම වසරේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් බිහිවූ පොදුජන එක්සත් පෙරමුණ පිහිටුවීමට ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් අත්සන් තැබූ සභාපතිවරයා මොහුය.1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට විශාල කැපකිරීමක් කළේය. එවන් කැපකිරීමක් කළ ඇතුගල්පුර ජනතාවගේ ජනප්‍රිය චරිතයක් බවට පත් වූ මොහු 1994 දී පැවැති මැතිවරණයේදී පරාජයවීම ඇදහිය නොහැකි සිද්ධියකි. ඉන් නොසැලී පෙරට ගිය රංජිත් නවරත්න 1999 පැවැති වයඹ පළාත් සභා මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප අතරින් තුන් වැනි තැනට තේරී පත්වුණි. ඉන් ලද පන්නරය අතරින් ජනතා මනාපයෙන් 2000 පැවැති මහ මැතිවරණයෙන් ඔහුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසීමේ භාග්‍යය උදාවිය.
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකත්වය දරමින් 2005 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට ද කැපකිරීම් කළේය. ඒ නිසාම වැසීයෑමේ අවදානමක තිබූ ලංකා පිඟන් සංස්ථාව ගොඩගැනීමට එහි සභාපති ධුරයත්, අධ්‍යාපන ක්ෂේත්රයේ දැනුම, නිපුණතාව හා අත්දැකීම් සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක තනතුරකින් ද නවරත්න මහතා මහින්ද රාජපක්ෂ ජනපති විසින් පත් කෙරුවේ සුදුස්සන් අතර එම තනතුරුවලට සැබෑම සුදුස්සා මොහු බව දත් නිසාය.
එමෙන්ම චක්‍රවර්ති, අධ්‍යාපන පිළිබඳව මහාචාර්ය ආදි ගෞරව නාමවලින් සංඝ රත්නය ඇතුළු සමාජ සේවා ආයතන රැසකින් රංජිත් නවරත්න මහතා පිදුම් ලැබුව නමුත් රටට, දැයට වැඩ කළ උගත් මේ ලේඛකයා, කවියා, සටන්කාමියා, මානව හිතවාදීයා නොසිතු අයුරින් 65 වැනි වියේදි කම්කරු දිනයදාම 2013 මැයි මස 01 වැනිදා දැයෙන් සමුගත්තේය.
ඔහු මිය ගියද ඔහු ගෙන ගිය මඟට සවිය දෙන්න අසංක නවරත්න පුතුණුවන්ට සවි ශක්තිය ලැබේවායි පතමි. සියල්ල අනිත්‍ය බව පසක් කරමින් දැයෙන් සමුගත් ගැමිකම හොඳින් හඳුනන ආචාර්ය රංජිත් නවරත්න මහතාට අජරාමර නිවන් සුව පසක් වේවා!
හිරියාල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ගණේගොඩ රතනජෝති නාහිමි