අමරපුර මහා නිකායේ එක්නැලිගොඩ විහාර පාර්ශ්වයේ අනුනායක අරියවංශපාල ගණාවරිය ප්‍රවචන විශාරද ශ්‍රී ධම්මජෝති වංශාලංකාර ධර්ම කීර්ති ශ්‍රී ශාසන ශෝභන සිරි සුමංගල විනයාචාර්ය මහෝපාධ්‍යාය බළන්ගොඩ කිරිඳිගල ශ්‍රී ශෛලතලාරාමාධිපති විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ශාස්ත්‍රවේදී අතිගරු කඳන්ගොඩ ශ්‍රී සද්ධානන්ද නාහිමියෝ තත් නිකායේ අතිගරු මහානායක පදවියෙන් පිදුම් ලැබූහ.
එම විහාර පාර්ශ්වයේ ධම්මජෝති කාරක සංඝ සභාව පසුගියදා (24) රත්නපුර කරන්ගොඩ ගිනිහිරිය සිද්ධාර්ථෝදය මහ පිරිවෙන් විහාරස්ථානයේදී රැස් වූ අවස්ථාවේදී මේ තෝරා පත් කර ගැනීම සිදුවිය.
වර්ෂ 1950 වෙසක් මස 03 වන දින ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ 1962 දී උතුම් වූ පැවිද්ද ලබා 1971 දී උපසම්පදාලාභි වූහ. රත්නපුර මුවගම ශ්‍රී විසුද්ධාරාම පිරිවෙනෙන් මූලික පැවිදි අධ්‍යාපනය ලැබූ සද්ධානන්ද නාහිමියෝ උසස් අධ්‍යාපනය පාණදුර පින්වත්ත සද්ධර්මාකාර පිරිවෙනෙන් ලබා අනතුරුව බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙනෙන් හා මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් ප්‍රාචීන, ප්‍රාරම්භ හා මධ්‍යම විභාග සමත් වී ඇත.
ඉක්බිති පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ උන්වහන්සේ 1982 දී පළමුව පිරිවෙන් ගුරු සේවයට පිවිසෙමින් දෙමටගොඩ විසුද්ධාරාම මූලික පිරිවෙනේ සේවයට එක් වී ඇත. අනතුරුව රජයේ පාසල් ගුරු සේවයට යොමු වෙමින් 1984 දී අම්පාර සුහදගම විද්‍යාලයට පත්වීම් ලද අප නාහිමියෝ ප්‍රදේශයේම වීරගොඩ විද්‍යාලයේද සේවය කර ඇත. ඉන්පසු තමා වැඩ සිටි බළන්ගොඩ ප්‍රදේශයට වැඩම කළ උන්වහන්සේ බළන්ගොඩ විද්‍යාලෝක මහා විද්‍යාලයේ ගුරු සේවයට එක් වන්නේ 1989 දීය. වසර 26ක රජයේ පාසල් ගුරු සේවය නිමා කර 2010 වසරේදී උන්වහන්සේ විශ්‍රාම දිවියට පා තැබූහ.
ආගමික අධ්‍යාපනික සාමාජීය සේවයේ නිරත වන අතර තත් නිකායේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ සද්ධානන්ද නාහිමියන් වෙත 2000 දී ලේඛකාධිකාරි ධුරය ද 2002 දි රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය ද, 2013 දි අනුනායක පදවිය ද මේ වර්ෂයේ ජනවාරි 30 වැනි දින සිට වැඩ බලන මහා නායක පදවියට ද පත් වූහ. උන් වහන්සේගේ ශාසනික සේවයේ අග්‍ර ඵලය වන්නේ හිස් කඳු ශිඛරයක් වූ බළන්ගොඩ නගරයට ඉහළින් පිහිටි මුඩුබිම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත අතිසුන්දර දර්ශනීය විහාරස්ථානයක් බවට පත් කිරීමයි.