Home » ත්‍රිරෝද රථයෙන් මත්කුඩු අදිමින් සිටියදී බූරු නිරෝෂා අත්අඩංගුවට

ත්‍රිරෝද රථයෙන් මත්කුඩු අදිමින් සිටියදී බූරු නිරෝෂා අත්අඩංගුවට

by mahesh
May 3, 2024 1:00 am 0 comment

හල්තොට සමූහ - විනීතා මානෙල් ගමගේ

ත්‍රිරෝද රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි මාලඹේ බූරු නිරෝෂා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන සුප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනාකම ඇති මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.

මෙම කාන්තාව ත්‍රිරෝද රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරන බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක ජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සුභූතිපුර හන්දිය අසලදී ත්‍රිරෝද රථය නතර කර පරීක්ෂා කර බැලීමේදී සඟවා තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 12 මි. ග්‍රෑම් 810ක් සොයා ගැනීමට හැකි වී තිබේ.

පසුව සිදුකරන ලද විමර්ශනයේදී මාලඹේ, හෝකන්දර, බෝගහවත්ත පාරේ ඇගේ නිවසේ තිබී තවත් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 08 මි. ග්‍රෑම් 430ක් සොයාගැනීමට හැකි වී තිබේ.

මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මීට පෙර බන්ධනාගාරගතව සිට පැමිණි අයකු වන අතර, දිගින් දිගටම එම ජාවාරමේ නිරත වෙමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා මුදලින් දිනකට රුපියල් දහදාහක් දැනට බන්ධනාගාරගතව සිටින ඇගේ අනියම් සැමියාගේ නඩත්තුව සඳහා බන්ධනාගාරය වෙත ලබා දෙන බවට වැඩිදුරටත් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මාලඹේ ප්‍රදේශයේ පිහිටි ඇය පදිංචි නිවෙස කෝටි පහක් පමණ වටිනා අධි සුඛෝපභෝගි එකක් වන අතර, ඇය එහි රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම බූරු ගැසීමේ ද නිරත වන බවත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට යොදා ගන්නා ත්‍රිරෝද රථයද ඇය සතු එකක් බවත් අනාවරණය වී තිබේ.

මෙම ත්‍රිරෝද රථයේ ගමන් කරමින් ඇයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සහාය දැක්වූ පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

මෙම මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට මෙම ව්‍යාපාරය මෙහෙයවන බවට හඳුනාගෙන ඇති අතර, මෙම සැකකාරිය රටේ විවිධ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය සඟවා තබා ඉතා සූක්ෂ්ම අයුරින් බෙදාහැරීමේ කටයුතු සිදු කරන බවත් මෙතෙක් සිදු කළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

සැකකාරිය හා සැකකරු නඩු භාණ්ඩ සමඟ තලංගම පොලිසිය වෙත භාර දී ඇති අතර, රඳවා ගැනීමේ නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි සමන්තිලක වැලිවිට මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ජයරත්න, පො.සැ (1445) බටුවත්ත, (38713) ක්‍රිෂාන්ත, පො.කො. (84889) උදයකුමාර, (87119) අමිල, (87154) තෙන්නකෝන්, (90452) ලෝගනාදන්, (104891) හිරුෂාන්, (104914) වෙන්මදිරාජා, කා.පො.කො. (13022) මෙලනි, පො.කො.රි. (80831) උදේශ් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT