- කි.මී. 4ක් කඳු දිගේ දුවගෙන ඇවිත් වාහන ඉස්සරහට එනවා
- වයස අවුරුද 17යි ඉගෙන ගත්තේ 10 වැනි පන්තියට
- දිලිප්ගේ නිෙවස බලන්න චීන ජාතිකයන් පිරිසකුත් ඇවිත්
චීනයේ ප්‍රසිද්ධ අපේ රටේ මල් කොල්ලෙක් ගැන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් සංසරණය වෙමින් තිබේ. ස්වෝත්සාහයෙන් සිය ජීවන ගමන ගෙනයන මේ ශ්‍රී ලාංකික තරුණයාගේ වීඩියෝව නැරඹුම් වාර කෝටි 13ක් ඉක්මවා තිබීම විශේෂත්වයකි. චීනයේ සමාජ මාධ්‍ය තුළ ඉතා වේගයෙන් සංසරණය වූ අතේ මල් පොකුරක් තබාගෙන සංචාරකයන්ට පෙන්වමින් පාර දෙපසට සිනහාමුසුව කුලුපගව දිව යන මේ තරුණයා කොත්මලේ ප්‍රදේශයේ ජීවත් වන දිලිප් මධුශංකය.
මේ තරුණයා සිය පවුලම ගොඩ දැමීමට මෙලෙස මල් අලෙවි කරමින් අව්‍යාජ සිනහවෙන් යුතුව කෘතවේදීව සංචාරකයන් සමඟ කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස ජනප්‍රියත්වයට පත්ව තිබේ. මොහු කැලේට ගොස් මල් කඩා ගෙනැවිත් එයින් පොකුරු සාදා සංචාරකයන්ට අලෙවි කරයි. මෙය ඉතා සුළු දෙයක් බව හැඟුණත් ඔහු දරන උත්සාහය ඉතාම කර්කශය. මෙලෙස සාදා ගත් මල් පොකුර විදේශිකයන් පසුපස දිවගොස් විකුණයි. දිලීප් කිලෝ මීටර් 4ක් 5ක් පමණ මෙලෙස විදේශිකයන් ගමන් ගන්නා වාහන පසුපස ලුහුබඳියි. එය දකින විදේශිකයන් වාහන නවතා මොහුගෙන් මල් මිලදී ගනී.

චීන ජාතිකයන් මල් මල්ලී සිතුවමට නගා තිබෙන අයුරු
දිලිප් අවුරුදු 17ක නව යොවුන් වියේ පසුවන තරුණයෙකි. මේ වන විට ඔහු චීනයේ කොතරම් ජනප්‍රිය ද කිවහොත් චීනයේ කුඩා දරුවන් පවා ඔහු මල් විකුණන ආකාරය චිත්‍රයට නඟා තිබේ.
“එයා හරි කෙට්ටුයි. ඒත් ජීවිතයට ආදරය කර ගොඩක් වෙහෙස මහන්සිවී වැඩ කරන ඔහු ඇත්තටම කඩවසම්. ඇත්තටම ලංකාවට ගියොත් මමයි මගේ යහළුවයි එයාගේ මල්වලට කැමැති වේවි. එයාව හඳුනාගන්න ආසයි.” යනුවෙන් ඔහුගේ වීඩියෝවට චීනයේ තරුණියක් අදහසක් එක් කර තිබේ.
එතරම්ම ඔහු ජන හදවත්වලට සමීපවී ඇති අතර, එයින් මෙරටට සංචාරක ආකර්ෂණය ගෙන ඒමට ද සමත්ව තිබීම අගය කළ යුත්තකි.
දිලිප් මේ ගැන ඔහුගේ හඬ අවදි කළේ මෙසේය.
“මට වයස අවුරුදු 17යි. මම දහයෙ පන්තියට විතරයි ඉස්කෝලෙ ගියේ. ප්‍රශ්න තිබුණ නිසා ඉස්කෝලෙ ගමන නවත්තලා මල් විකුණන්න පටන් ගත්තා. මම මල් හොයා ගන්නේ පහළ ගෙවල්වලින්. එහෙන් මල් කඩන් කැලේ ගිහින් කොළ කඩන් ඇවිත් ඒවායින් පොකුරු හදලා විකුණනවා. මම මේ මල් විකුණන්න මුලින්ම පටන් ගත්තේ නුවරඑළිය ගම්පොළ පාරේ යන එන විදේශිකයන්ට. මේ කඳුවලින් දුවගෙන ඇවිත් වාහනවල ඉස්සරහට එනවා. කිලෝ මීටර් 4ක් වගේ කඳු තියෙන්නේ. ඒවායේ තමයි දුවන්නේ. ඒ දුවද්දී මම ඕනෙ තරම් වැටිලා තියෙනවා. සමහර දවස්වල වාහන නවත්තනවා. සමහර දවස්වල වාහන නවත්තන්නේ නෑ. ඒත් මම මල් අරගෙන දුවනවා. මට අක්කාලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් බැඳලා. අනිත් අක්කයි, අම්මයි, තාත්තයි ගෙදර ඉන්නේ. එයාලා එළවළු බිස්නස් කරන්නේ. මම ගැන සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝව දැක්කා. ඒවායේ මම චිත්‍රයට ඇඳ තියෙන හැටිත් දැක්කා. ඉස්කෝලෙ යන කාලෙත් ඉඩක් ලැබුණ වෙලාවට මල් විකුණුවා. මම හදන මේ පොඩි මල් පොකුරක් දෙසීයටත්, ලොකු මල් පොකුරක් තුන්දහස් පන්සීයකටත් විකුණනවා.”
මනස්කාන්ත සිනාවකින් මුව සරසා ගත් දිලිප් මල් වෙළෙඳාමෙන් කීයක් හෝ සොයා ගැනීමට දරන උත්සාහය සුළුපටු නැත. මල් සුන්දර වුවත් ඔහුගේ දිවි සරි කරගැනීමට දරන උත්සාහය සුන්දර නැත.
‘මල් විකුණන මල්ලි’ නම් මේ විඩියෝවෙන් සංචාරකයන් පිරිසකට ඔහු මල් අලෙවි කිරීමට දරන උත්සාහය පෙන්වයි. මාර්ග කිහිපයක් ඔස්සේම දිවවිත් ඔහු එම සංචාරකයන් ගමන් ගන්නා වාහනය ඉදිරිපිටට පැමිණෙන අතර, මෙය සංචාරකයන්ට මහත් විස්මයක් ගෙන දෙන කරුණක් විය. මේ නිසාම වාහනය නවතා මල් විකුණන තරුණයාගේ මල් මිලදී ගැනීමට ඔවුහු කටයුතු කරන ආකාරය දැක්වෙන මේ වීඩියෝව ලොව පුරා සංසරණය වෙමින් තිබේ.
එහිදී ඔහු වාහනය තුළට ගොස් මල් පොකුර බැගින් සියලු දෙනාට දෙන අතර, ඔවුන් මල් ගෙන මුදල් දෙන අයුරු ද දැක්වේ. එමෙන්ම ඔහු සමඟ සෙල්ෆි ඡායාරූප ගන්නා අයුරුත්, ඇතැම් අය ඔහුගෙන් විවිධ ප්‍රකාශ ගන්නා අයුරුත් වීඩියෝවේ දැක්වේ.
අද වන විට චීනයේ ප්‍රසිද්ධ අපේ මල් කොල්ලාට විදෙස් සංචාරකයන්ගෙන් ඇත්තේ ඉතා විශාල ඉල්ලුමකි. චීන ජාතිකයන් පිරිසක් පසුගියදා ඔහුගේ නිවෙසට ගොස් ඔහුගේ නිවෙස සම්බන්ධයෙන් සොයා බලන වීඩියේවක් ද මේ වන විට සංසරණය වෙයි. එපමණක් නොව චීන ජාතිකයන් වාහනවලින් බැසවිත් ඔහුගේ මල් මිලදී ගන්නා ආකාරය ද එම වීඩියෝවේ දැක්වේ.
මහනුවර සිට නුවරඑළියට එද්දී ගම්පොළ ප්‍රදේශය පසු කරද්දී තොණ්ඩගල නමැති ප්‍රදේශයේදී මේ මල් කුමාරයා ඔබට ද දැක ගත හැකි අතර, එහිදී ඔහුගෙන් මල් පොකුරක් ගැනීමට ද අමතක නොකරන්න. එය ජීවිතය ජය ගැනීමට වෙර දරන ඔහුට මහඟු සවියකි.
ඡායාරූප – තිනකරන් හැටන් විශේෂ ක්‍රිෂාන්තන්