ඊශ්රායල් ජාතිකයකු නතර වී සිටින අහංගම, කතලුව ප්රදේශයේ නිවෙසකට ඇතුළුවී එම විදේශිකයාගේ ඩොලර් 50,000ක් (රුපියල් එක්කෝටි හැත්තෑලක්ෂයක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබී පැය 24ක් තුළ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන සොරකම් කරන ලද මුදල් ද සොයා ගත් බව අහංගම පොලිසිය පවසයි.
මෙම සොරකමේ ප්රධාන සැකකරුගේ නිෙවස ඉදිරිපිට පොළොවේ ටින් එකක බහා වළ දමා තිබූ මුදල් තොගය ගොඩට ගෙන පරීක්ෂා කිරීමේදී සොරකම් කරන ලද ඩොලර් පනස්දහසෙන් ඩොලර් 49,900ක් ද, මෙරට මුදල් රුපියල් විසිහයලක්ෂ හැත්තෑහයදහසක් ද සොයාගෙන තිබේ. මීට අමතරව එම මුදල්වලින් සැකකරුවන් විසින් මිලදීගෙන තිබූ යතුරුපැදි දෙකක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඊශ්රායල් ජාතිකයා නැවතී සිටින නිවෙසේ පිරිසිදු කිරීම් කටයුතු සිදු කරන පුද්ගලයකු විසින් විදේශිකයාගේ මුදල් පිළිබඳ ඔත්තුව තම මිතුරකු වූ ප්රධාන සැකකරුට ලබා දී තිබේ. එම ඔත්තුව ඔස්සේ පසුගිය 2 වැනිදා මෙම විදේශිකයා නතර වී සිටින නිවසේ ජනේලයක් කඩා ඇතුළු වූ සැකකරු එහි තිබූ ඩොලර් 50,000 සොරකම් කරගෙන කතලුව ප්රදේශයේ පිහිටි තම නිවෙසට ගොස් එම මුදල්වලින් කොටසක් ගෙන, ඉතිරි මුදල් ටින් එකක බහා නිවෙස ඉදිරිපිට පොළොවේ වළක් හාරා වළ දමා හිනිදුම පිහිටි තම බිරියගේ නිෙවසට ගොස් ඇත. අනතුරුව හිනිදුම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සැක කටයුතු පුද්ගලයකු හිනිදුමට පැමිණ සිටින බව අහංගම පොලිසියට දැනුම් දී තිබේ. ඒ අනුව අහංගම පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක නාලක ජයවීර මහතා ඇතුළු කණ්ඩායමක් හිනිදුමට ගොස් මොහු අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී ඩොලර් සොරකම පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇත. ඒ අනුව කතලුව පිහිටි සැකකරුගේ නිවෙසේ වත්තේ වළ දමා තිබූ මුදල් සොයාගෙන ඇත.
මෙම මුදල්වලින් සැකකරුගේ තවත් මිතුරකුට ලබා දී තිබූ රුපියල් ලක්ෂ පහක මුදලින් යතුරුපැදියක් මිලදීගෙන ඇති අතර යතුරුපැදිය සමඟ එම සැකකරු ද, මුදල් පිළිබඳ ඔත්තුව දුන් පුද්ගලයා ද, ප්රධාන සැකකරු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඊශ්රායල් ජාතිකයා වසර 8ක් තිස්සේ මෙම නිවෙසේ නතරව සිටින අයෙකි. එමෙන්ම කතලුව ප්රදේශයේ සංචාරක හෝටල් හතරක හිමිකරු වන මොහු ව්යාපාරික විදේශිකයෙකි. මොහු පසුගිය 4 වැනි දින කෙටි කාලයකට ඊශ්රායලයට ගොස් ඇත. මෙම සොරකම පිළිබඳ විදේශිකයාගේ එක් සංචාරක හෝටලයක කළමනාකරු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම සොරකමේ විමර්ශන ආරම්භ කර තිබුණි. සැකකරුවන් ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.