Home » යාල වනයේ කෘමීන් විදෙස් රටකට ගෙන යෑමට උත්සාහ කළ ඉතාලි පියා සහ පුතාට වැඩ වරදී

යාල වනයේ කෘමීන් විදෙස් රටකට ගෙන යෑමට උත්සාහ කළ ඉතාලි පියා සහ පුතාට වැඩ වරදී

by mahesh
May 10, 2024 1:00 am 0 comment

තිස්සමහාරාම අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු කතරගම - කේ. ඩී. දේවප්‍රිය
පියා වෛද්‍යවරයෙක් පුතා ඉංජිනේරු ශිෂ්‍යයෙක්

යාල ජාතික වන උද්‍යානයේ ජීවත්වන සමනලුන් ඇතුළු කෘමි විශේෂ දඩයම් කර ජාන සොරකමේ යෙදී සිටි ඉතාලි ජාතික පිය පුතු දෙපොළක් යාල කටගමුව වන ජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව යාල ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න සඳහන් කළේය. සමනලුන් බට් කූරන් ඇතුළු කුඩා කෘමින් අල්ලා මරණයට පත්කර රසායනික ද්‍රව්‍ය යොදා අසුරා විදේශ රටකට ගෙනයාම සඳහා සූදානම් කර තිබූ බහාලුම් සියයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිව තිබේ.

යාල සෆාරි ජීප් රථ රියැදුරෙකුගෙන් ලද තොරතුරකට අනුව සෝදිසි මෙහෙයුමක් දියත්කර කටගමුව වනජීවී නිලධාරීන්ට කොච්චිපතාන රජයේ රක්ෂිතයේ මෝටර් රථයක් නතර කර දැල් යොදා ගනිමින් සමනලුන් අල්ලමින් සිටි විදේශිකයින් දෙපොළ හමුව තිබේ. පසුව ඔහුගේ මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී එම අවස්ථාවේ අල්ලා ගත් සමනලුන් බෝතල්වල බහා තිබියදී අත්අඩංගුවටගෙන ඇති බවත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී දින කීපයක් තුළ ජීවග්‍රහනයෙන් අල්ලා මරණයට පත් කළ ජීවීන් වර්ග 400කට ආසන්න ප්‍රමාණයක් රසායනික ද්‍රව්‍ය යොදා අසුරා තිබිය දී අත්අඩංගුවට ගත් බවද වන ජීවිය පවසයි.

වනජීවී වෘක්ෂලතා ආඥා පනතට අනුව ආරක්ෂිත කොඳු ඇට පෙළ රහිත සතුන් ගණයට වැටෙන මෙම සතුන් සියල්ල ආරක්ෂිත සතුන් වන බවත් ආවේණික සහ ආවේණික නොවන සතුන් ද මේ අතර සිටින බවද උද්‍යාන භාරකරු සඳහන් කළේය. ඒ අනුව එක් සතෙකුට වුවද අල්ලා ගැනීම, මැරීම, සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ අධිකරණයට කරුණු වාර්තා කරන බවත් දඩයකට හෝ බන්ධනාගාරගතවීමකට යටත් වන බවද උද්‍යාන භාරකරු පවසයි.

ඊට අමතරව මෙම සතුන් දඩයම් කිරීම සඳහා දේශීය වශයෙන් යම් පුද්ගලයෙකුගේ සහාය ලැබී ඇද්ද යන්න පිළිබඳව සහ සොරකම සඳහා ගෙනෙන ලද කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය කුමන ආකාරයට රට තුළට ගෙනාවේද යන්න පිළිබඳව ද පරීක්ෂණ සිදු කරන බව වස්ගමුව වනසත්ව අඩවි ආරක්ෂක කේ. සුජීව මහතා පවසයි.

මස හතරක් සඳහා මෙම විදේශකයින් ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති අතර ඉතාලි ජාතිකයන් දෙදෙනාගේ ගමන් බලපත්‍රද වනජීවී භාරයට ගෙන ඇත. වයස අවුරුදු පනස් අටක් වන ලුයිගි ෆෙරාරි වෛද්‍යවරයෙකු වන අතර ඔහුගේ පුතෙකු වන වයස අවුරුදු 28ක් වන නතියාෆෙරාරි ඉංජිනේරුවරයෙකු වීමට සිටින පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

මොවුන්ගේ ගමන් මලුවල තිබී හමුවූ රසායනික ද්‍රව්‍යය සහ සතුන් දඩයම් කිරීමට ගන්න විද්‍යුත් උපකරණ රැසක් අත්අඩංගුවට ගත හැකි වූ බවත් ඒ අනුව ජාන සොරකම් කිරීම සඳහා උපරිම දැනුමක් ඇතිදෙපළක් බවටද හඳුනාගෙන ඇත. පරීක්ෂණවලදී හෙළි වූ කරුණු අනුව මේ මස හතරවැනි දින ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මිරිස්ස තංගල්ල ආදී ප්‍රදේශවලත් මෙම සතුන් දඩයම් කර ඇති බවට ද තොරතුරු හෙළිව ඇති බව පවසයි.

කෙසේ වෙතත් මෙලෙස අල්ලා ගන්නා සතුන් වරායෙන් හෝ ගුවන්තොටුපොළින් විදේශගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව සැක සහිත තත්ත්වයක් මතුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විමර්ශනය කළ යුතු බවද නිලධාරීන් සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 15දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා නියෝග කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT