ගංජා සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයකුට සිර මැදිරිය තුළ ගංජා පානය කිරීමට ඉඩ සලසා දෙමින් ඔහුට කියා ගංජා සුරුට්ටු සකස් කර පානය කළ තංගල්ල පොලිසියේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 05 දෙනකුගේ වැඩ තහනම් කළ බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා සඳහන් කළේය.
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මෙම වැඩ තහනම් කිරීම සිදු කර ඇත්තේ පෙරේදා (08) සිට ක්‍රියාත්මක වන ලෙසිනි.
මෙසේ වැඩ තහනම් කර ඇත්තේ පොලිස් සැරයන්වරු තිදෙනකුගේ සහ කොස්තාපල්වරු දෙදෙනකුගේය.
ගංජා ග්‍රෑම් 50ක් සමඟ තංගල්ල පොලිසියේ නිලධාරීන් විසින් සැකකරුවකු මාසයකට පමණ පෙර අත්අඩංගුවට ගෙන ඇති බවත් එම සැකකරුව සිර මැදිරියේ රඳවා සිටියදී පොලිස් නිලධාරීන් විසින් ඔහු මඟින් ගංජා සුරුට්ටු තුනක් ඔතාගෙන පොලිස් ස්ථානය තුළදී භාවිත කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා පැවසීය.
ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරු පසුදින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 15,000ක දඩයක් නියම කර මුදා හැර ඇත.
අධිකරණය නියම කළ දඩ මුදල ගෙවා නිදහස් වීමෙන් අනතුරුව තමාට කියා පොලිසිය ගංජා සුරුට්ටු සකස් කර පානය කළ බව එම පුද්ගලයා තංගල්ල පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් පැමිණිලි කර තිබේ. ඒ අනුව තංගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරීවරයකු පොලිස් සිර මැදිරිය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී ගංජා මිලිග්‍රෑම් 280ක් සමඟ ලයිටරයක් හමුවී තිබේ. එම ගංජා ප්‍රමාණය පෙර දිනයේ පොලිස් නිලධාරීන්ට ගංජා සුරුට්ටු සකස් කර දී ඉතිරි වූ ඒවා බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.