Home » බේරුවල කුණු කන්ද ගැන සොයා බලා එය සුදුසු තැනකට බැහැර කරන්න පියවර ගන්න

බේරුවල කුණු කන්ද ගැන සොයා බලා එය සුදුසු තැනකට බැහැර කරන්න පියවර ගන්න

by mahesh
May 10, 2024 1:00 am 0 comment

බේරුවල ප්‍රදේශයේ නිර්මාණය වී ඇතැයි කියන කුණු කන්ද සම්බන්ධයෙන් සොයා බලා එය සුදුසු ස්ථානයකට බැහැර කරන්නට පියවර ගන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ බලධාරින්ට ඊයේ (09) උපදෙස් දුන්නේය.

බේරුවල නගර සභා බල ප්‍රදේශය තුළ එකතු වන අපද්‍රව්‍ය, වත්තිමිරාජපුර ගම්මානයේ ඉඩමකට බැහැර කිරීමෙන්, මතුව ඇති බරපතළ සෞඛ්‍ය ගැටලුව විසඳීම සඳහා, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (09) පැවැති අවස්ථාවේදී මෙම උපදෙස් දෙනු ලැබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා- අගමැතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමකට අනුව පැවති මෙම සාකච්ඡාවට, ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාද, පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීහු, බේරුවල ප්‍රාදේශීය ලේකම්වරයා, බේරුවල නගර සභාවේ නිලධාරීහු මෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය, පොලිසිය, ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, පළාත් සභා කසළ කළමනාකරණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය ආදී සියලු ආයතනවල නියෝජිතයෝද කැඳවා තිබිණි.

ඒ අනුව, අගමැතිවරයා වගකිව යුතු අංශවලට උපදෙස් දුන්නේ, එළඹෙන සතියේ අඟහරුවාදා (14) බේරුවල ප්‍රදේශයට ගොස් පරීක්ෂා කර බලා, එම කසළ කන්ද වහාම ඊට සුදුසු ස්ථානයකට බැහැර කිරීම සඳහා කටයුතු කරන ලෙසත්, පසුව කසළ නිවැරදිව වර්ගීකරණය කර ඒවා නිසි ලෙස බැහැර කර ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසයි. දැනට කසළ බැහැර කරන ඉඩම යොදා ගනිමින් ක්‍රමවත් කසළ ප්‍රතිචක්‍රියකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා මෙහිදි යෝජනා කළේය. සාකච්ඡාව ලබාදීම සම්බන්ධයෙන් අගමැතිවරයාට ස්තූති කළ පා.ම. ඉම්තියාස් බාකිර් මාකාර් මහතා, යොදාගත් දින වකවානු අනුව ක්‍රියාත්මක වන ලෙස නිලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT