මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේදී දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි ලකුණු ක්‍රමවේදයක් සකස් කර ලකුණු දීමක් සිදු කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (13) පැවසීය.
විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ලිඛිත ප්‍රශ්න සහ බහුවර්ණ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බවත් ප්‍රශ්න පත්‍රය සකස් කළ ආචාර්යවරු පිරිස රැස්ව පෙරේදා (12) ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඇමැතිවරයා පැවසුවේය.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ, විද්‍යාව ප්‍රශ්න පත්‍රයට උගන්වපු නැති විෂය කාරණා ඇතුළත් කිරීම නිසා දරුවන්ට ලකුණු 12 ක් අහිමි වීම සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයෙහි ව්‍යූහය වෙනස් කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය යොමු කළ වාචික ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. සාමාන්‍යයෙන් සෑම විභාගයකම ප්‍රශ්න පත්‍රය ලබා දී අවසානයේ දී, සාම්පල් මාර්කින් සිදු කරන බවත් ඒ අනුව සාම්පල් මාර්කින් අවසානයේ යම් යම් වෙනස්කම් සිදු කරන බවත් ඇමැතිවරයා පැවසුවේය. සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයේදී ප්‍රමිතිය පවත්වාගෙන යා යුතු බවත් ඒ අනුව ප්‍රශ්න පත්‍ර සකස් කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. 2021 වර්ෂයේ ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමට තිබූ විභාගයේ පත්වීම් 500 ක් ලබාදීමට සම්මුඛ පරීක්ෂණ මේ දිනයන්හි පවත්වන බවත් ඉන් 100 ක් ජාතික පාසල්වලටත්, ග්‍රාමීය සහ පළාත් මට්ටමේ පාසල්වලට ගුරුවරු 400 ක් ලබාදීම ඉදිරියේදී සිදුකරන බවත් ඇමැතිවරයා කීය.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න