පාතාල අඳුන බැලීම සඳහා විශේෂ හැකියාවක් ඇති ගුරාලා, එකල සිටියේ රටේ දකුණු කොනට වෙන්නටය. අඳුන මැද්දේ ඇති කළු පැහැ බෝලය දෙස බලන ගුරුන්නාන්සේ අහවල් ස්ථානයේ පොළොව යට ඇති විස්තර කියන්නේ ‘භූ විද්‍යා සහ පතල් සමීක්ෂණ කාර්යාලයේ’ විශේෂඥයෙක් පරිදිය. හෙතෙම තමන් වෙත පොළොව විනිවිද පෙනෙන හෙයින් අඩි විස්සක් යට මෙහෙම යමක් ඇතැයි කියන්නේය. නිධන් වස්තු පිළිබඳව එහෙම විස්තර අසා ගන්නා පිරිස්, ඒවා තමනට කැප අකැප ආකාරය පිළිබඳව සොයා බලා, බාහිරව පුදපෙත් කර ඒ සඳහා මංපෙත පාදා ගන්නේය.
පාතාලය යන්න කාලයකට ඉහත භාවිත වූයේ ඒ අර්ථයෙන්ය. අසූව දශකය මැද භාගයේ එතෙක් පැවැති මැර සිතියම ද වෙනස් වූයේය. දැලි පිහිය, කඩුව, කිණිස්ස වැනි මුවහත් ආයුධ සමඟ සමාජයේ සෙල්ලම් දැමූ චණ්ඩි පිරිසක් සිටියහ. ආයුධයට වඩා මේ පිරිස විශ්වාස කරන ලද්දේ සිය කායික හැකියාවය. මරදානේ චොප්පේ අනෙකා සමඟ සටන් කරන්නේ ෆේස් ටූ ෆේස්ය. මේ යුගය නිමා කර, තුවක්කු සමඟ සටනට බට පාතාල පිරිසක් ඇති වන්නේ දේශපාලනයේ අනුහසිනි. සැඟවී සිට අනෙකා වෙත, චිකාගෝ පන්නයෙන් වෙඩි තබා පලා යන ‘චණ්ඩි පිරිසක්’ නිර්මාණය වීමත් සමඟ, පාතාලය නම් වචනය භාවිතයට එන්නේය. අපරාධයක් කළ පසු එහි ඉමක් කොනක් නොපෙනෙන්නේ හෙයින් ‘පාතාලය’ යන නම එයට යෙදුවා විය හැකිය. එසේ නැතිනම් සමාජයේ අගාධයේ හෙවත් ‘දුෂ් පාරිසරික’ සිදුවීමක් හෙයින් මේ සඳහා පාතාලය යන නම යෙදුවා විය හැකිය. කලින් කලට පාතාලය ධාවනය වෙන ඉන්ධන වෙනස්ය. එක කලක කප්පම්ය. දැන් නම් මත්ද්‍රවය ය.
අපේ මාතෘකාව බර වන්නේ පාතාලයේ දකුණු පළාතේ ක්‍රියාකාරම් වෙතය. දකුණේ පාතාලය වනාහි පස් හය දෙනෙකුගේ ප්‍රයාමයකි. මේ සියල්ලෝ වැඩේ මෙහෙයවන්නේ ‘දුරස්ථ පාලක’ යොදා ගෙනය. ගාල්ල දිස්ත්‍රික්කය භීෂණයෙන් මුසපත්වීම දශක කිහිපයක ප්‍රශ්නයකි. යුක්තිය මෙහෙයුම යටතේ, මේ පළාතේ පාතාල සෙල්ලම් මැඬලීම සඳහා වන විධිමත් යන්ත්‍රණයක් තනන ලද බව අපට පවසන ලද්දේ පොලිසියේ ලොකු පුටු විසින්මය. විශේෂ කාර්ය බළකාය මඟ දිගේ රැකවලට යොදා ඇති අයුරු සෑම මාධ්‍යයකම පළ වූයේය. එතැන් පටන් අප සිතුවේ දැන්නම් අම්බලන්ගොඩ, බළපිටිය, කොස්ගොඩ, රත්ගම, අහුංගල්ල ආදී පළාත් සාමකාමී වනු ඇති බවය. එක දිගට පාරේ යන වාහන පරීක්ෂා කළේය. සැක කටයුතු පුද්ගලයෝ කුදලාගෙන ගොස් හිරේ විලංගුවේ දැමූහ. එහෙත් වැඩේ නිමාවක් නැත්තේය. කොස්ගොඩ සුජී සහ රත්ගම විදුර නම් නරි දෙදෙනා නෑවීම පිණිස මේ තීරුව සූදානම් නැත. ඔය ආකාරයේ වැඩි සෙල්ලම් දාන ලද උදවිය දැන් ඉන්නා තැන ගැන අප දන්නා හෙයින් මේ ගොයියලා උඩ තබා ‘මහ මොළකරුවන්’ ‘ගෝඩ් ෆාදර්’ ආදී උන් ආස පන්නයේ හැඳින්වීම් සඳහා මේ තීරුව ඉඩ දෙන්නේ නැත.
මඟ දිගට වෙඩි තබා, රටේ ඉන්න ද බැරි තැන පැන ගොස් සිටින අයියලා, ඩුබායිවලින් පිටමං කළ සැණින්, කටුනායකදී හඬා වැළපෙන්නේ “ බුදු සර්, ඔක්කොම විස්තර කියන්නම්, ආයුධ පෙන්වන්නනම් එක්කගෙන යන්න එපා…” කියමින් බව අප දන්නේය.
ඔහොම ලන්තරස් බඩු කෑලි කිහිපයක් මෙහෙම ගම් පිටින් බිය වැද්දීම වනාහි උන්ගේ දක්ෂතාවයක් නොව අපේ අවුලක් බව මේ තීරුවේ අදහසය.
පාතාලය මර්දනය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක සන්නද්ධ පොලිස් යතුරුපැදි බළකා සහ විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාවක් අහුංගල්ල පොලිස් බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙද්දී තවමත් වැලට මිනීමැරුම් සිද්ධ වන්නේය. ලයිසන් එකක් නැතිව වාහනයක් පදවාගෙන යෑමට නොහැකි තරමට කොළඹ පැත්තේ නම් රාත්‍රී රථවාහන පොලිස් රාජකාරිය කාර්යක්ෂමය. එසේ වෙද්දී තුවක්කු අරගෙන අහුංගල්ල පැත්තේ ගෙවලට මැරයෝ කඩාගෙන පනින්නේ අල්ලපු වැටේ සිට නොවේ. මේ කාලයේ හැම තැනම සීසීටීවී ඇත්තේය. දුරකතන විශ්ලේෂණ මඟින් කරගත හැකි දේ බොහෝය. එහෙම තිබියදී දකුණේ පාතාලය මේ ආකාරයට සෙල්ලම් දමනවා කියන්නේ ගාලු දිස්ත්‍රික්කයේ ඔය ගම් කිහිපය ‘මුදා නොගත්’ පළාත් ලෙස පවතින බවය. දැන් නම් ඉවසීම නිමාවට පත්ව ඇත්තේය. බබා නම් චරිතය, ඩුබායි සිට මේ ආකාරයට එකට එක කිරීම සඳහා ගම් තුලානේ මිනී මරනවා නම්, මෙහේ සිටින ආරක්ෂක අංශ මොනවා කරනවාදැයි ජනතාව අසනු ඇත්තේය. කිසිදු බාධාවක් දැන් නැත්තේය. කිසිම දේශපාලනඥයෙක් මේ මැරයෝ පරිස්සම් කරන්නේ නැත. පොලිස් අමාත්‍යාංශය මෙම මර්දනය සඳහා අවශ්‍ය සියලු සවිය පහළට ලබාදී තිබේ. එහෙත් තවම ගිනි පත්තු වන්නේය. මෙහෙම වෙඩි කන්නේ පාතාලයේ එකිනෙකා නොවේ. අහල පහල මිනිස්සු ද මරණයට පත්වන්නේය.
කොකේන් රජු එස්කොබා කොලොම්බියාව හොල්ලාගෙන සිටියේ එරට ආණ්ඩු ඔහුට බුරුල දුන් කාලයේ පමණ ය. පමණ ඉක්මවා හේ නටන්න පටන් ගත් වන එක්සත් ජනපදයේ විශේෂ කණ්ඩායම් කිහිපයක් සමඟ සම්බන්ධවී කොලොම්බියානු ආණ්ඩුව ගේමට බැස, එස්කොබා වෙඩි තබා ඝාතනය කළේය. එස්කොබා යනු වෙනම රාජ්‍යයකි. එවන් රාජ්‍යය ද බිමට පහත් කළ කල්හි, බබාලා සහ විදුරලා කවරහුද?
තවනම් කාලයක් ඉතිරිවී නැත්තේය. මේ ප්‍රදේශ මුදා ගැනීම සඳහා වහ වහා ක්‍රියාත්මක විය යුත්තේය. උන්ට එපා වී හෝ එම පළාත් ජනශූන්‍ය වී මේ ප්‍රශ්නය නිරාකරණය වන්නේ නම් ආරක්ෂක අංශ අවශ්‍ය වන්නේ සැලියුට් ගැසීමට පමණක් බව අපේ අදහස ය.