ලාංකේය සිනමා සාහිත්‍යයේ සහ පුවත්පත් කලාවේ දැවැන්ත වෘක්ෂයක් කඩා වැටුණේය. ඒ මහා වෘක්ෂය ඒ.ඩී. රන්ජිත් කුමාරය.
රන්ජිත් රෝගාතුර වී සිටි බව මා දැනගත්තේ පසුගිය සිංහල – හින්දු අලුත් අවුරුද්දට සුබ පතන්නට ගිය විටදීය. එදින දුරකතනයට පිළිතුරු දුන්නේ ඔහුගේ දයාබර බිරිඳ දමයන්තිය. රන්ජිත්ට කතා කරන්නට මට අවශ්‍ය වූ නමුදු ඒ මොහොතේ ඔහු නින්දට සූදානමින් සිටි නිසා ඇය ඊට අවස්ථාවක් ලබා දීමට මැළි වූවාය. එහෙත් පසුදිනම රන්ජිත් මට කතා කළේය. මා ඔහුගේ සුවදුක් විමසූ පසු ‘දන්නෙ නැද්ද ගුණේ අපේ වයසත් එක්ක පොඩි පොඩි අසනීප තිෙයනවා… ඒවට ඉතින් මුහුණ දෙන්න ඕනෙ නේයි’ කියා සුහදව සිනාසුනේය.
යළිත් දිනක ඔහුගේ සුවදුක් විමසන්නට වූ විට එදත් පිළිතුරු දුන්නේ දමයන්තිය. එදින ඔහු රෝහලට ඇතුළත් කළ බව කීවාය. රන්ජිත්ගේ තත්ත්වය හොඳ නැති බව වැටහුනු විට මට එකවරම සිහිවූයේ රන්ජිත් තරම් අපේ සිනමාව වෙනුවෙන් සුවිසල් වැඩ කොටසක් ඉටු කළ වෙනත් සිනමා ලේඛකයකු (සුනිල් මිහිඳුකුල හැර) සිටීද යන්නය. ජීවත්ව සිටියදී එවන් මිනිසකු පිළිබඳ කිසිදු ඇගයීමක් කිරීමට කිසිවකු උනන්දු නොවීම බරපතළ අසාධාරණයක් හා අකෘතඥකමක් නොවේද? ඔහුගේ පෑනෙන් නොලියැවුණු නළුවකු, නිළියක, සිනමාකරුවකු මේ රටේ නැති තරම්ය. ඔහුගෙන් වැඩ ගත් ආයතන කොපමණද? පුරා දශක පහකටත් අධික කාලයක් තුළ ඔහු මුළු ජීවිතයම කැප කළේ සිනමාවේ හා සිනමා සාහිත්‍යයේ උන්නතිය වෙනුවෙනි.
රන්ජිත් සිනමාව ගැන ලියන්නට ගත්තේ යාන්තම් පාසල් විය ඉක්මවූ පසුවය. හා හාපුරා ඔහුගේ නම මට හමුවන්නේ ‘සරසවිය’ පුවත්පතෙනි. ඒ හැටේ දශකයේ අග භාගයේදීය. මගෙ මතකයේ හැටියට එවකට ඔහු ‘සරසවිය’ ට ලියුවේ නිදහස් ලේඛකයකු වශයෙනි. බෙහෝ සිනමා ලේඛකයන් සිනමා ලේඛනයට අත්පොත් තබන්නේ හුදෙක් ජනප්‍රිය නළු නිළියන් පිළිබඳ තොරතුරු හා ඔවුන් සමඟ සංවාද සටහන් ලිවීමේ ආසාවෙනි. එහෙත් රන්ජිත් කුමාර ඉන් ඔබ්බට ගිය නිර්මාණශීලී තරුණයෙක් විය. ඔහු සිනමාවට අමතරව ගොස් බොහෝ දේ ලියුවේය. ‘.
තරුණ රන්ජිත් සිනමා ලේඛනයට පැමිණෙන්නේ ඉහළම සාහිත්‍ය රසඥතාවක් මෙන්ම නිර්මාණශීලි සිත්තර සිතක්ද ඇතිවය. එබැවින් ඔහු සිනමා ලේඛනයට අමතරව බොහෝ දේ කළේය. සාහිත්‍යකරුවන් සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡා පවත්වා එම සංවාද සටහන් ‘සරසවිය’ ‘නවයුගය’ ‘සිළුමිණ’ පුවත්පත්වලට ලියුවේය.
අපේ කෙටිකතාව ඔළුවෙන් හිටවූ නිර්මාණකරුවා වන අජිත් තිලකසේන සමඟ සාකච්ඡා කොට සකස් කළ ලිපි කිහිපයක් ‘කලාවයි හුදෙකලාවයි’ වැනි මාතෘකා කිහිපයක් සහිතව පොත් වශයෙන් පළ කළේය. එම පොත් පෙළ වඩාත් වැදගත් වන්නේ අජිත් තිලකසේන පිළිබඳ නව අධ්‍යයනයකින් පසුවන අද පරපුරටය.
ලිවීමට අමතරව රන්ජිත් පොත් පිටකවර ඇන්දේය. ඔහුගේ අතින් නිර්මාණය වූ පිටකවර අතර මාර්ටින් වික්‍රමසිංහ, කේ. ජයතිලක, ගුණදාස අමරසේකර ඇතුළු මේ රටේ ප්‍රවීණ ගත්කරුවන් රැසකගේ පොත් ද විය. පොත් පිටකවර ඇඳීමෙන් නොනැවතී ඔහු චිත්‍රපට නාමාවලි රැසක්ද නිර්මාණය කළේය.
එවකට ඔහු ‘සරසවියට’ ලියූ සියලුම විශේෂාංගවල ‘ලෝගෝ ඇන්දේ ඔහුමය. පරිගණක නැති ඒ කාලයේ ඔහුගේ අත්හදාබැලීම්ද සහිතව අතින්ම ඇඳි එම ‘ලෝගෝ’ සිනමා මුද්‍රාව සහිත නිර්මාණශීලි ඒවා විය. කොළඹ ආනන්ද විද්‍යාලයේ සරසවි පිවිසුම් පෙෙළ් සිටියදී කොලුගැටයන් පිරිසක් සමඟ රංජිත් ලාල් ‘නිම්වළල්ල’ නිර්මාණය කරද්දී ඒ කොලු ගැටයන් සමඟ රංජිත් උරෙන් උර ගැටී වැඩ කළේය. එහි ප්‍රචාරක කටයුතු සඳහා ඔහු විසින් නිර්මාණය කළ
පුවත්පත් දැන්වීම්, අත් පත්‍රිකා , සමරු පොත් ආදිය අතිශයින් නිර්මාණශීලී විය.
‘උන් එදා කළ රූ දුටොත්’ මැයෙන් ලෝක පූජිත සිනමාකරුවන්ගේ නිර්මාණ සහ එම නිර්මාණකරුවන් අරභයා 60 දශකයේ අග භාගයේදී රන්ජිත් ‘සරසවියට’ ලියූ ලිපි පෙළ එවකට මගේ සිනමාව කෙරෙහි මගේ භක්තිය වැඩි කරන්නට සමත් විය. අදටත් මගේ පුස්තකාලයේ එම පත්තර පිටු සුරැකිව ඇත.
රන්ජිත්ට ‘සරසවිය’ කර්තෘ පදවිය හිමි වන්නේ ‘ලේක්හවුස් මාධ්‍යවේදියකු ලෙස අර්ධ කාලීනව හා පූර්ණ කාලීනව දීර්ඝ කාලයක් සේවය කිරීමෙන් පසුවය. ඔහුට කලින් කර්තෘ පදවිය දැරූ කීර්තීමත් කර්තෘවරුන්ගේ ඇසුර නොමඳව ලැබුණු නිසාත්, දීර්ඝ කාලයක් පුවත්පත් කලාවේදීයකු ලෙස ලත් පරිචය නිසාත් ඔහුට ‘සරසවිය’ පුවත්පත වගකීමෙන් සහ සැබෑ සිනමා සරසවියක් ලෙස පවත්වාගෙන යන්නට හැකිවිය. එබැවින් ඔහු කර්තෘ පදවිය දැරූ අවදිය ‘සරසවිය’ පුවත්පතේ ස්වර්ණමය අවදියක් ලෙස දකිමි.
රන්ජිත් ‘සරසවිය’ කර්තෘ පදවිය හොබවද්දී ඔහුගේ සෙවණේ හැදුණු වැඩුණු තරුණ ලේඛකයන්ට ලැබුණු මඟ පෙන්වීම් ඔවුන්ගේ ලේඛන දිවියට මහත් සවියක් වූ බව වඩාත් තහවුරු වන්නේ පසු කලෙක එම සිනමා ලේඛකයන් අතරින් කිහිප දෙනකුටම ‘සරසවිය’ කර්තෘ පදවිය හිමිවනු දැකීමෙනි.
රන්ජිත් කුමාරගේ ග්‍රන්ථකරණයද විවිධය. සුවිසල්ය. ‘රුක්මණී දේවී’ මෙන්ම ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව ‘ අරභයා ලියූ වටිනා පර්යේෂණ ග්‍රන්ථ දෙකට අමතරව මේ රටේ ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදීන් ගැන සාහිත්‍යවේදීන් හා ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ පර්යේෂණාත්මක ග්‍රන්ථද ඒ ඒ විෂයයන් හදාරන විද්‍යාර්ථීන්ට මහඟු අත්වැලකි.
රන්ජිත් කුමාර වෘත්තීය පුවත්පත් කලාවේදීන් අතර ජ්‍යෙෂ්ඨයකු වුවද කිසි දිනක ඒ ජ්‍යෙෂ්ඨත්වයෙන් හිස උදුම්මවා ගත්තේ නැත. ගරු කළ යුත්තන්ට ඔහු නිසි ගෞරවය දුන්නේය. එසේම ඔහු කවදත් කාටත් මිත්‍රශීලී සුහද මිතුරෙක් විය. ක්ෂේත්‍රයේ වැඩකටයුතුවලදී අප සමඟ කවදත් සුහදව කටයුතු කළ දයාබර මිනිසෙක් විය.
අද නික්ම යන ඒ වටිනා මිනිසා ස්වකීය ජීවිත කාලය තුළ සිදු කළ යථෝක්ත සුවිසල් කාර්යභාරය ලාංකේය සිනමාවේ සහ සාහිත්‍යයේ අරුත්බර ඉතිහාසයක් සනිටුහන් කරයි.
සුබ ගමන් දයාබර මිතුරාණෙනි!
ගුණසිරි සිල්වා