අමාත්‍ය මණ්ඩලයේ නව්‍යකරණය කිරීමේ අරමුණ ඇතිව රුසියාවේ ආරක්ෂක ඇමැති සර්ජි ෂොයිගු එම තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපති ව්ලැදිමිර් පුටින් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්රේන යුද අර්බුදයේදී රුසියාව වෙනුවෙන් වැඩි කාර්යභාරයක් ඉටු කළ බව කියන ආරක්ෂක ඇමැතිවරයා එරට ආරක්ෂක කවුන්සිලයේ ලේකම් තනතුරට පත් කිරිමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඔහු ජනාධිපති පුටින්ගේ දිගුකාලීන මිතුරකු බව ද වාර්තා වේ.
වසර 2012 සිට රුසියාවේ ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කරන 68 හැවිරිදි සර්ජි ෂොයිගු වෙනුවට එරට නියෝජ්‍ය අගමැති ඇන්ඩ්‍රි බෙලොසොව් පත් කිරීමට ද නියමිත බව වාර්තා වේ. ආරක්ෂක ඇමැතිවරයා එරට ආරක්ෂක කවුන්සිලයේ ලේකම් තනතුරට පත් කිරීමත් සමඟ මෙතෙක් ලේකම් තනතුරෙහි කටයුතු කළ නිකොලායි පට්‍රෘෂෙව්ට එම ධුරය අහිමි වනු ඇතැයි ද ඔහුට පිරිනැමීමට නියමිත තනතුර පිළිබඳ මෙතෙක් තොරතුරු කිසිවක් වාර්තා නොවන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.