Home » නවසීලන්ත ජාතිකයාගේ අස්ථානගත වූ මුදල් පසුම්බිය සොයා දුන් උතුම් මිනිසෙක්

නවසීලන්ත ජාතිකයාගේ අස්ථානගත වූ මුදල් පසුම්බිය සොයා දුන් උතුම් මිනිසෙක්

by sachintha
May 14, 2024 1:20 am 0 comment

මහනුවර කොළඹ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය මැදිරියක වැටී තිබියදී අහුලා ගත් නවසීලන්ත ජාතිකයකුට අයත් මුදල් පසුම්බියක තිබූ රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් සහ බැංකු කාඩ්පත් සමඟ යළි භාර දීමට මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය ධාවනාගාර සහාය තාක්ෂණ ශිල්පියකු පියවර ගෙන ඇත.

කොළඹින් පස්වරු 3.30ට ධාවනය ආරම්භ වූ මේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියෙන් නෙදර්ලන්ත මිතුරෙක් ද සමඟ මහනුවරට පැමිණි මේ නවසීලන්ත ජාතිකයාගේ මුදල් පසුම්බිය අහුලාගත් දුම්රිය සහාය තාක්ෂණ ශිල්පී වයි. එම්. ජී. එස්. සේනාරත්න මහතා එය දුම්රිය ආරක්ෂක නිලධාරීන් වන ඒ. ඩී. බණ්ඩාර සහ ඩී. එන්. ජී. මෙන්ඩිස් මහත්වරුන් මාර්ගයෙන් මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය ආරක්ෂක අංශයේ කාර්යභාර නිලධාරී ඒ. ඒ. එස්. අමරකෝන් මහතා වෙත භාරදී තිබේ.

මේ මුදල් පසුම්බියේ රුපියල් 91,150ක් ද ඔස්ට්‍රේලියානු ඩොලර් 05ක නෝට්ටුවක් ද රියැදුරු බලපත්‍රයක් ද ක්‍රෙඩිට්කාඩ්පත් දෙකක් ද තිබී ඇත.

දුම්රිය ආරක්ෂක අංශයෙන් ඒ සම්බන්ධව මහනුවර සංචාරක පොලිස් ඒකකය දැනුවත් කර තිබේ. කොළඹ සිට මහනුවරට දුම්රියෙන් පැමිණෙමින් සිටියදී මුදල් පසුම්බිය නැතිවී තිබෙන බවට නවසීලන්ත ජාතිකයා සංචාරක පොලිස් ඒකකට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අවස්ථාවේ පොලිසිය මැදිහත්ව ඔවුන් මහනුවර දුම්රිය ස්ථානයට ඊයේ (13) පෙරවරුවේ රැගෙන ගොස් එය අහුලාගත් පුද්ගලයා අතින්ම හිමිකරුට භාර දීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලාංකිකයන් ආගන්තුක සත්කාරය ඉහළින්ම දක්වන පිරිසක් බවත්, කිසිදු අඩුවකින් තොරව මුදල් පසුම්බියේ තිබූ දේවල් තමන්ට ලැබුණු බවත්, සංචාරක පොලිස් ඒකකය සහ දුම්රිය ආරක්ෂක අංශය මෙහිදී තමන්ට දැක්වූ සහය අගය කරන බවත් නවසීලන්ත ජාතිකයා පැවැසුවේය.

මහනුවර සංචාරක පොලිස් ඒකකයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් මහගෙදර මහතාගේ උපදෙස් මත, පොලිස් සැරයන් (47018) ඉන්ද්‍රජිත්, කාන්තා පොලිස් සැරයන් (1928) නිරංජලා නිලධාරීන් මුදල් පසුම්බිය නවසීලන්ත ජාතිකයාට දීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කර තිබේ.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT