Home » කලාකරුවන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට එක්වන්න යුනයිටඩ් යූත් කලා එකමුතුව

කලාකරුවන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට එක්වන්න යුනයිටඩ් යූත් කලා එකමුතුව

by sachintha
May 14, 2024 1:02 am 0 comment

මේ වන විට මෙරට සිටින්නේ වැඩ කරන ජනාධිපතිවරයෙක් බවත්, ඔහුගෙන් කලාකරුවන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට තම එකමුතුව සමඟ එක් වන ලෙසත් යුනයිටඩ් යූත් කලා එකමුතුවේ සාමාජික සාමාජිකාවෝ මෙරට කලාකරුවන්ගෙන් ඉල්ලීමක් කරති. ඔවුන් එසේ ප්‍රකාශ කළේ පසුගියදා (10) නුගේගොඩදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී අදහස් දැක් වූ යුනයිටඩ් යූත් අධ්‍යක්ෂ ජනරාල් ප්‍රවීණ කලාකරු කුමා ජයකාන්ත මහතා මෙලෙස පැවැසීය.

“මෙරට කලාකරුවන්ගේ උන්නතියට ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳව අප එකමුතුව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. මේ වන විට අපේ කලා ක්ෂේත්‍රයේ ඇතැම් ප්‍රවීණයන් හුදෙකලා වී සිටිනවා. ඒ වගේම කලාව සමඟ එක්ව කටයුතු කිරීමට අලුත් පරපුරක් ද මේ වන විට සූදානම්. ඔවුන්ට මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑමට ප්‍රවීණයන්ගේ අවවාද අනුශාසනා අවශ්‍යයි. මේ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වීමට සිටින පිරිසට යුනයිටඩ් යූත් කලා එකමුතුවේ සහයෝගය දීමට විවිධ වැඩසටහන් අප සිදු කරනවා. නළු නිළියන් වගේම කලා ක්ෂේත්‍රයේ සිටින කාර්මික ශිල්පීන්, වේශ නිරූපණ ශිල්පීන් ආදී විවිධ කොටස් සඳහා අපගේ සහයෝගය දෙනවා. යුනයිටඩ් යූත් කලා එකමුතුව හා සම්බන්ධ වීමට කැමැති කලාකරුවන්ට අපත් සමඟ එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.”

ප්‍රවීණ රංගන ශිල්පී සේනක විජේසිංහ මහතා

“අප රටේ කලා ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන ඇතැම් ගැටලුවලට දේශපාලනය ද වග කියන්න ඕනෙ. චිත්‍රපට සංස්ථාව අයිති රජයට. මෙරට රූපවාහිනී නාළිකා රජයට මෙන්ම පෞද්ගලික අංශයට ද අයිතියි. කලාකරුවන්ට තම නිර්මාණ ජනතාව අතරට ගෙන යෑමට නොහැකිව ගැටලු ඇති වෙලා. හැබැයි පළමුව රට දියුණු විය යුතුයි. එසේ නොමැතිව සිනමාව, කලාව පෙරට ගෙන යා නොහැකියි. රට දියුණු වීමට නිවැරදි නායකත්වයක් තිබිය යුතුයි. එසේ නොමැතිව අපට පෙරට යන්න බෑ.

ශ්‍රී ලංකාව කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් තමයි අප දකින්නෙ. ඒත් අපේ සිනමාව මේ වන විට ජාත්‍යන්තරය ජය ගනිමින් සිටිනවා. මෑත අරගලය නිසා මේ රට වෛරයෙන් පිරුණා. හෙල්මට් එකකින් ගසා තාත්තා කෙනෙක් මරලා දැම්මා. අප ප්‍රඩණ්ඩකාරී තාරුණ්‍යයට ආදරය ඉගැන්විය යුතුයි. ඒ ආකාරයට මේ රට හැදීමට බුද්ධිමත්, විද්‍යාත්මකව සිතන නායකයෙක් අපට අවශ්‍යයි. මේ රටේ ඉදිරි අවුරුදු පහ තුළත් වත්මන් ජනාධිපතිවරයා සිටිය යුතුයි කියා මම සිතනවා. ඔහුට රට හැදීම පිළිබඳව නිවැරදි දීර්ඝ දර්ශනයක් තිබෙනවා. අප කරන මේ පැහැදිලි කිරීමට කවුරුන් හෝ විරුද්ධ නම් අපගේ ප්‍රකාශ පිළිබඳව පැහැදිලි කර දීමට සූදානම්.”

ප්‍රවීණ කලාකරු අර්ජුන කමලනාත් මහතා

“මීට අවුරුද්දකට එකහමාරකට පෙර තිබූ රට නොවෙයි අද තිබෙන්නේ. විනාශ වී තිබූ රට මේ තත්ත්වයට ගෙන ඒම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුතියි.

මම මේ අවස්ථාවේදී අපේ රටේ කලාකරුවන්ගේ ජීවන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරනවා. එහිදී මෙරට කලාකරුවන් සම්බන්ධයෙන් කතා කරනවා ප්‍රමාණවත් නොවන බව මම දකිනවා. ප්‍රවීණ කලාකරුවන් ගණනාවක් රෝගි වී අසරණව සිටිනවා. එම නිසා කළුබෝවිල මහරෝහලේ හෝ වෙනත් ප්‍රධාන රෝහලක කලාකරුවන් සඳහා වාට්ටුවක් දිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ඇඳන් අපටත් සපයාගන්න පුළුවන්. මෙරට ඇතැම් කලාකරුවන් සමහර ස්ථානවල වහලුන් බවට පත්වී තිබෙනවා. ප්‍රවීණ කලාකරු අංජලී ලියනගේ මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූවාය.

මේ අවස්ථාවට රංග විජේවික්‍රම, නිරෝෂා හේරත්, නිරෝෂන් ඉලේපෙරුම, කුමාර වදුරැස්ස, ශෂිකලා හෙට්ටිආරච්චි, යුනයිටඩ් යූත් සභාපති සුදත් චන්ද්‍රසේකර මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

උපාලි කරුණාරත්න

ඡායාරූපය – සුදත් මලවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT