මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයක් වන ගම්පොළ නොහොත් ගඟසිරිපුර ශ්‍රී පාද අඩවිය, අම්බුළුවා, බදුල්ල, නුවරඑළිය දෙසට ගමන් කරන මාර්ග රැසක් වැටී ඇති ප්‍රධාන නගරයකි. ගම්පොළ නගරයට දිනකට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක ජනතාව, පාසල් සිසුන් මෙන්ම රාජ්‍ය සේවකයෝ විශාල පිරිසක් පැමිණෙති.
ප්‍රවාහන කටයුතු සඳහා ගඟසිරිපුර වික්‍රමබාහු පාසල, ශාන්ත ජෝශප් පාසල, ජිනරාජ බාලිකා පාසල, ජිනරාජ පිරිමි පාසල මෙන්ම බෞද්ධ දේවි බාලිකා විදුහල්වල දරුදැරියන් මෙම බස් නැවතුම්පොළට පැමිණෙන විශාල පිරිසකි.
ප්‍රධාන නගරයක් වුවද අද ගම්පොළ නගරය මිහිපිට අපායක් වී අවසන් බව ප්‍රදේශවාසී ජනතාව කියන්නේ වේදනාව පිරුණු මුවිනි. නගරයේ ඇති බස් නැවතුම්පොළ බසයක් පිටත්වනතුරු සිටිනවා තබා විනාඩි කිහිපයක්වත් සිටිය නොහැකි තරමේ අපිරිසුදු ස්ථානයකි.
බස් නැවතුම්පොළේ සිට දොළොස්බාගේ – ගලහ – උඩුවැල්ල – කරගල කොහොවල – පුපුරැස්ස – මහනුවර – අනුරාධපුරය – දිවුලපිටිය – කළුතර – පොලොන්නරුව – බදුල්ල – නුවරඑළිය – පූඩළුඔය – කහවත්ත -දොළුව – බෙරවිල – වැටකේදෙණිය – පැල්ලපිටිය – පන්විලතැන්න – දුනුකේඋල්ල – මාදම්පේ – කුලියාපිටිය ගම්වලට හා නගරවලට බස් රථ ධාවනය වේ.
මහනුවර දිස්ත්‍රික්කයේ වාඩිවීමට පුටුවක්, බංකුවක් නොමැති එකම බස් නැවතුම්පොළ ඇත්තේ ගම්පොළට යැයි ප්‍රදේශවාසීන් පවසනුයේ නෝක්කාඩුවෙනි. රෝගීන්, ගැබිනි මව්වරුන්, වැඩිහිටි උදවිය මේ නිසා දැඩි අපහසුතාවට පත්ව සිටින බව නොකියා බැරිය.
කුණුගොඩවල් නගරයේ සමහර තැන්වල ගොඩගැසී ඇත. නගරයේ පානීය ජලය නැත. ඉදිරි වර්ෂා කාලයේදී මගී පාලම යට ඇති කුණු වළ ඩෙංගු බෝ කරන ස්ථානයක් බවට පත්වීමට ඉඩ ඇති බව වෙළෙඳ ප්‍රජාව අනතුරු හඟවමින් කියා සිටිති.
අනිත් බස් නැවතුම්පොළ වන පොදු වෙළෙඳපොළ අසල අවට කානු දුර්ගන්ධයෙන් පිරී ජරාජීර්ණව ගොසිනි.මෙම ස්ථානයේ සිට ගල්පාය හරහා කරගල, කොහොවල හා කඩුගන්නාව මාර්ගයේ ගංහත, වෙළම්බොඩ, වටදෙණිය, මාවනැල්ල, කඩුගන්නාව දක්වා බස් රථ ධාවනය වේ. එම ස්ථානයේ රෝගියකුට හෝ ගැබිනි මවකට වාඩිවීමට පහසුකම් නොමැත.
නගර සභාව බදු මුදල් හා වාහන නවත්වනවාට මුදල් එකතු කළත් නගරයේ කිසිඳු පහසුකමක් නැති බව නගරවාසීන්, රියැදුරන් මෙන්ම වෙළෙඳ ප්‍රජාව කියා සිටින්නේ කලකිරීමෙනි.
එසේම කඩුගන්නාව හන්දියේ ලොතරැයි කූඩුව අසල ද කුණු වළකි. වෙළෙඳ සංකීර්ණය පිටුපස කානුව අතිශය අපිරිසුදුය. පෞද්ගලික බස් නැවතුම්පොළේත් බංකු හෝ පුටුවක් නොමැත.
රටේ සංවර්ධනය ගම්පොළට නැති බව මෙහි ජනතාව කියති. අනිත් නගරවල තිබෙන සංවර්ධනය බිංදුවක්වත් ගෑවී නැති බව ද ඔවුහු කියති.
නගරයේ ඔරලෝසු කනු දෙකම ක්‍රියාවිරහිත වී ඇත.
නගරයේ පානීය ජලය නැත. රාත්‍රි කාලයේ බස් නැවතුම්පොළ අඳුරේ ඇත. බස්නැවතුම පිටුපස යාචකයන්ගේ නිවෙස්නය වී ඇත. අදාළ බලධාරීන් දැනුම්වත් කළත් ඒ ඉල්ලීම් බීරි අලියන්ට වීණා වයන්නක් පමණක් වී ඇතැයි ප්‍රෙද්ශවාසීන් කියා සිටියේ වේදනාව පෙරදැරි කරගෙනය.
ගඟඉහළ සමූහ ජගත් ජනප්‍රිය විජේසිංහ