Tuesday, May 13, 2025
Home » ත්‍රිත්ව සුපිරි පොස්පේට් වෙනුවට සිංගල් සුපර් පොස්පේට්

ත්‍රිත්ව සුපිරි පොස්පේට් වෙනුවට සිංගල් සුපර් පොස්පේට්

by chanaka
May 16, 2024 9:31 am 0 comment

ආනයනික ත්‍රිත්ව සුපිරි පොහොර (TSP- Triple Super Phosphate) වෙනුවට ආදේශකයක් ලෙස තනි සුපිරි පොස්පේට් හෙවත් සිංගල් සුපර් පොස්පේට්(SSP- Single Super Phosphate) පොහොර මෙරට පසට ඉතාමත් යෝග්‍ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.

එප්පාවල රොක් පොස්පේට් යොදා ගනිමින් නිෂ්පාදනය කරන සිංගල් සුපර් පොස්පේට් පොහොර වී වගාව ඇතුළු අනෙකුත් බෝග වගාවන් සඳහා යොදා ගැනීමට සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයැවීම යටතේ පත් කර ඇති මෙහෙයුම් කමිටුව ඊයේ (15) පෙරවරුවේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ඒම අමාත්‍යාංශයේ දී පැවැත්වූ අවස්ථාවේදී මේ බැව් අවධාරණ්‍ය කෙරිණි.

ත්‍රිත්ව සුපිරි පොහොර මෙරටට ආනයනය කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 30ක මුදලක් වැය කිරීමට සිදුවේ. එමනිසා ඒ වෙනුවට ආදේශකයක් ලෙස සිංගල් සුපර් පොස්පේට් පොහොර භාවිතා කිරීම සම්බන්ධව සිදු කළ පර්යේෂණ මගින් මෙරට පසට එම පොහොර ඉතාමත් යෝග්‍ය බව අනාවරණය වී තිබේ.

දැනට එප්පාවල රොක් පොස්පේට් නිධිය තුළ මෙට්‍රික් ටොන් මිලියන 60ක පොස්පේට් තොගයක් අඩංගුවන නිසා තව වසර ගණනාවකට කිසිදු හිඟයකින් තොරව සිංගල් සුපර් පොස්පේට් පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. මේ නිසා වාර්ෂිකව ත්‍රිත්ව සුපිරි පොහොර ආනයනය සඳහා වැය කළ විශාල ඩොලර් ප්‍රමාණයක් මෙරට තුළ ඉතිරි කර ගැනීමට හැකියාව ලැබී තිබේ.

මේ වනවිට එප්පාවල ‌රොක් පොස්පේට් යොදා ගනිමින් පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් අට දෙනෙක් මහා පරිමාණයෙන් සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනය ආරම්භ කර ඇත. එමනිසා ඔවුන් විසින් නිපදවනු ලබන සිංගල් සුපර් පොස්පේට් මෙන්ම රජයට අයත් පොහොර සමාගම් විසින් ද නිපදනවන එම පොහොර එළඹෙන මහ කන්නයේ දී වී වගාව සඳහා යොදා ගැනීමට හැකියාව ලැබී තිබේ.

මෙහිදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට හා රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගමට උපදෙස් ලබා දුන්නේ සිංගල් සුපර් පොස්පේට් භාවිතා කිරීම සම්බන්ධව ගොවි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන ලෙස ය.

විශේෂයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , සිංගල් සුපර් පොස්පේට් මෙරට දීම නිෂ්පාදනය කිරීම සඳහා පියවර ගන්නා ලෙසට දී ඇති උපදෙස් මත 2024/25 මහ කන්නයේ සිටම එම පොහොර භාවිතා කිරීමට පියවර ගත හැකි වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT