ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ විස්සයි20 ක්‍රිකට් පිටියේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරේ පළමු ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා විස්සයි20 නායක වනිඳු හසරංග සමත්ව තිබේ.
මෙතෙක් කල් පෙරමුණ ගෙන සිටි බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් සමඟින් වනිඳු සමතැන ගෙන අංක එක ස්ථානයට පත්වීම විශේෂත්වයකි.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පසුගියදා නිමාවූ විස්සයි20 තරගාවලියේ අවසන් තරග දෙකට ශකීබ් එක්වූ අතර, මේ තරගවලින් පසු ඔහුගේ ශ්‍රේණිගත ලකුණු 3කින් අඩුවී ඇත. ඒ අනුව ශකීබ් අල් හසන් ශ්‍රේණිගත ලකුණු 228ක් වූ අතර, නවතම ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳු හසරංග ද ශ්‍රේණිගත ලකුණු 228ක් ලබා ගැනීමට සමත්ව තිබේ.
මේ හේතුවෙන් තවත් සති දෙකකින් ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ලොව අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා වීමේ උණුසුම් සටනක් නිර්මාණය වී තිබේ.
වනිඳු පසුගිය පෙබරවාරි මස තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර දෙවැනි ස්ථානයට පත්වූ අතර, ඒ අවස්ථාවේ පෙරමුණ ගෙන සිටි ශකීබ් වනිඳුට වඩා ප්‍රසාද ලකුණු 17ක් ඉදිරියෙන් සිටියේය.
ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නබි තෙවැනි තැන සිටින අතර, බංග්ලාදේශයට එරෙහිව නිමා වූ තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් සිම්බාබ්වේ ක්‍රීඩක සිකන්දර් රාසා ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ සිව්වැනි තැන හිමි කර ගෙන ඇති අතර, ඒ හේතුවෙන් දකුණු අප්‍රිකාවේ ඒඩන් මාක්රම් සහ ඔස්ට්‍රේලියාවේ මාකස් ස්ටොයිනිස් ස්ථානයක් බැගින් පහතට වැටී තිබේ. මේ අතර විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථානයන්හි වෙනසක් සිදුව නොමැති අතර, වනිඳු දෙවැනි ස්ථානයේත්, මහීෂ් තීක්ෂණ 5 වැනි ස්ථානයේත් රැඳී සිටිති.