නුවරඑළිය සිට නාවලපිටිය දක්වා ධාවනය වූ නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයේ රියැදුරු රිය අසුන මත ජීවිතක්ෂයට පත් වීම නිසා බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වී ඇති බව ලිඳුල පොලිසිය පැවසීය.
මෙසේ ධාවනය වෙමින් තිබූ බස් රථය තුළදීම ජීවිතක්ෂයට පත්වී ඇත්තේ නාවලපිටිය ලංගම ඩිපෝවේ සේවය කරමින් සිටි සුරංග අරුණසිරි අත්තනායක නමැති 39 හැවිරිදි අයෙකි.
නුවරඑළිය සිට දිඹුල පතන හරහා නාවලපිටිය දක්වා පෙරේදා (15) පස්වරුවේ ධාවනය වූ බස් රථය හදිසියේ කාර්මික දෝෂයකට ලක්වීම නිසා එම බස් රථයේ ගමන් ගත් මඟින්ව වෙනත් බස් රථයකට මාරු කර බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර එක්ව බස් රථයේ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කර ඇත.
පසුව බස් රථය නාවලපිටිය දක්වා ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ රියැදුරුට ඇති වූ හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුවී ඇත.
මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිඳුල ෆාමස්ටන් ප්‍රදේශයේදීය.
බස් රථය අනතුරට පත්වීමත් සමඟ බස් රථයේ කොන්දොස්තරවරයා රියැදුරු අසුනේ වැතිරී සිටි රියැදුරුට කතා කර ඇති බවත්, එහිදී රියැදුරු අසුන මතදීම සිහිසුන් වී වැතිරී සිටි නිසා කොන්දොස්තරවරයා විසින් ඒ පිළිබඳව ලිඳුල පොලිසිය වෙත දැනුම්දීමෙන් පසු පොලිසියේ නිලධාරීන් විසින් රියැදුරු අසුනෙන් ඉවත් කර ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් භාරදෙන අවස්ථාවේදීත් රියැදුරු මියගොස් ඇති බව ලිඳුල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත.
බස් රථය අනතුරට පත් වූ ස්ථානය අධික බෑවුමක් සහිත ස්ථානයක් බවත්, බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා පමණක් ගමන් කර ඇති බවත්, පසුව ලිඳුල පොලිසියේ නිලධාරීන් එක්ව බස් රථයේ රියැදුරාගේ සිරුර ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත භාර දී පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.
අනතුරෙන් බස් රථයට සහ මාර්ගයේ ආරක්ෂිත වැටට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත්, මරණය සහ අනතුර සම්බන්ධයෙන් ලිඳුල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.