Thursday, May 15, 2025
Home » හෙළ සසුන් කෙත අස්වද්දන්න කැපවූ ඇඹිලිපිටියේ රතනජෝති හිමි

හෙළ සසුන් කෙත අස්වද්දන්න කැපවූ ඇඹිලිපිටියේ රතනජෝති හිමි

by mahesh
May 17, 2024 1:00 am 0 comment

අපට ලොවට දිය හැකි උතුම්ම දායාදය ථෙරවාදී බුදුදහමයි. එකී වගකීම පෙරදැරිව සාමණේර වියේ සිටම ශාසනික උන්නතියට බට ඇඹිලිපිටියේ රතනජෝති හිමියෝ හෙළ සසුන් කෙත අස්වද්දන්නට කැප වූ යතිරුවනකි. ශාසනික, ආගමික, සංස්කෘතික, සමාජයීය මෙහෙවර තුළ ගත්කතුවරයකු, දහම් පාසල් ප්‍රධානාචාර්යවරයකු, පළාත් ප්‍රජා පොලිස් උපදේශක කමිටුව ආදී ආයතන රැසක උපදේශකත්වය හා ප්‍රජා සමිති, සිවිල් සංවිධාන රැසක අනුශාසකවරයකුව, කැස්බෑව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරීව සිටි උන් වහන්සේ සමාජගත කළ හර පද්ධති බොහෝය.

සම්බුද්ධ ශාසනයේ ප්‍රගමනය උදෙසාත්, බොදු ජනයාගේ උන්නතිය වෙනුවෙනුත් උන් වහන්සේ කළ සේවයට උපහාර දැක්වීමක් ලෙස මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ සානුනායක විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව මඟින් ‘ශාසනකිර්ති ශ්‍රී සරණපාල හේමාලෝක’ ගෞරව නාම සම්මුතිය සහිතව කර්මවගාචාර්ය පදවිය පිරි නැමීම වටී.

මාවිත්තර සිරි තිසරණ සරණ ධර්මායතනය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමට උන් වහන්සේට තිබූ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස විහාරස්ථානයට අඩුපාඩුවක්ව තිබූ ධාතු මන්දිරය, භාවනා ශාලාව, පුස්තකාලය සහිත සංඝාවාසය ඉදිකිරීමේ කටයුතු කොරෝනා උවදුරු සමයේ අතරමඟ නතර කරන්නට සිදුවුවත්, නැවත ඉදිකිරීම් ආරම්භ කළ උන්වහන්සේ පහත මහලේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් කර දෙවැනි මහලේ ඉදිකිරීම් ඇරඹීමට ද දිරියෙන් කටයුතු කළහ.

දහම් තෝතැන්නක් වූ විහාරස්ථ දහම් පාසල ශාසනික, ආගමික, සංස්කෘතික හා සමාජයීය අධ්‍යාපනයෙන් හෙබි දරු පරපුරක් පෝෂණය වන තක්ෂලාවකි. දුෂ්කර ප්‍රදේශවල දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රම අනුව වෛද්‍ය සායන පැවැත්වීම උන් වහන්සේ සිදු කරන සමාජ සේවා අතර විශේෂත්වයක් ගනී. සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් උන් වහන්සේ කළ මෙවන් කැපකිරීම් ඇගයුමට තවද බොහෝ ඇත. මා බොහෝ කලක සිට ළඟින් ඇසුරු කළ ඇඹිලිපිටියේ රතනජෝති හිමියන්, විහාරාධිපතිව වැඩ විසූ ගැටමාන්නේ හේමාලෝක හිමියන්ගේ ඇවෑමෙන් තරුණ වියේදීම විහාරාධිපති ධුරයට පත් වී විසල් වගකීමක් සිය උරමතට ගත්හ. ඒ වගකීම එයාකාරයෙන්ම ඉටු කරමින් දැයට සෙත සැලසූ ප්‍රදේශවාසීන්ගේ දුක, සැප ළඟ නොසැලෙන හිමිනමක වූ බවද සිහිපත් කරමි. ඇඹිලිපිටියේ රතනජෝති හිමියන්ට නිදුක් නීරෝගි චිරජීවනය ප්‍රාර්ථනා කරමි.

ලලිත් රෝහණ ලියනගේ 
අගමැති මාධ්‍ය ලේකම්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT