ව්‍යවසායකත්ව පරපුරක් උදෙසා
පසුගිය වකවානුවේ අප වැටී සිටියේ ලොව ආර්ථිකව පිරිහුණු රටවල් අතර පතුලටයි. ලෝක ආර්ථික සමුළුවල පවා අවධාරණය කළේ ශ්‍රී ලංකාව ආර්ථිකය හැසිර වූ ආකාරයට නොකළ යුතු බවයි.
ඉහළ දියුණුවක් අත්කරගෙන ඇති සෙසු ආසියාතික රටවල් වන ඉන්දියාව, චීනය වැනි විසල් රටවල් සේම තායිලන්තය, මැලේසියාව වැනි කුඩා රටවල්වලට පොදු විශේෂී ලක්ෂණය වූයේ ඒ රටවල් සියල්ලම හැකිතරම් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමට පසුබිම සැකසීමයි. ඉන් ප්‍රමුඛ පියවරක් නම් පෞද්ගලික ව්‍යවසායකත්වයට දිරිදීමයි. ඒ සඳහා දැනුම, කුසලතා, ආකල්ප දියුණුව ළමාවියේ සිටම සංවර්ධනය කර ව්‍යවසායකත්වයට වටිනාකමක් දීමයි.
ශක්තිමත් ආර්ථිකක් ගොඩනැඟීමට ඇති බාධාවන් හඳුනාගත් වත්මන් රජය ජාතික දැක්මකින් යුතුව කර්මාන්ත සංවර්ධනය සඳහා පදනමක් සැකසීම සඳහා සැලසුම් ක්‍රියාවට නංවමින් සිටී.
කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව දීපව්‍යාප්ත කරන ලද මේ සඳහා පුළුල් දැක්මකින් යුතුව වැඩසටහනක් දියත්කර තිබේ. එය නම්කර ඇත්තේ “The get up start up for a wealthy nation ” හෙවත් (ධනවත් ජාතියක් සඳහා ආරම්භය) පාසල් පාදකව සකසා ඇති වැඩසටහන ක්‍රියාවට නංවනුයේ පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ඇති කිරීම තුළිනි. මෙම කව හරහා නව නිෂ්පාදන කරමින් ඒවා පුළුල් ව්‍යවසායන් දක්වා ගොඩනැඟීම සඳහා පදනම් සැකසූ දැයේ දරුවන් ඇගයීමේ වැඩසටහනක් පසුගිය මාර්තු මාසයේ නෙළුම් පොකුණ පරිශ්‍රයේ පැවැතිණි.
පාසල් ව්‍යවසායකත්ව කව අතර කැපී පෙනෙන වඩාත් ඉදිරියෙන්ම සිටින පුරෝගාමී මෙහෙවරක් කරන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ව්‍යවසායකත්ව කවයෙහි කාර්ය ඇගයීම මෙම ලිපියෙහි එක් ප්‍රමුඛ අරමුණකි.
පාසල් ව්‍යවසායකත්ව වැඩසටහන පිළිබඳ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න මහතා දැක්වූයේ මෙවන් අදහසක්. “කාර්මික සංවර්ධන මණ්ඩලය අනාගත දර්ශීව සැලසුම් කර ඇති මෙම වැඩසටහන සුරක්ෂිත මතුපරපුරක් ගොඩනැඟීම හා දියුණු ආර්ථිකයක් වෙනුවෙන් කරන යුගකාරක මෙහෙයක්.
අධ්‍යාපනය සමාජ සංවේ දී විය යුතුයි. රටේ අනාගත අපේක්ෂා පූර්ණ කළ හැකිවිය යුතුයි. දශක ගණනාවක් තිස්සේ අධ්‍යාපනය වෛද්‍යවරයෙක්, ඉන්ජිනේරුවෙක්, නීතිඥයෙක් හැදීම වැනි කටයුතුවලටයි සීමාවී තිබෙන්නේ. ඒ සීමාවන් බිඳීම වෙනුවෙනුයි මේ නව වැඩසටහන ගොඩනැඟී තිබෙන්නේ.
අපේ රට සම්පත් බහුල රටක්. මේ සම්පත්වල වටිනාකම හඳුනාගත හැකි දැක්මක් ඇතිකිරීමයි මුලින්ම කළ යුත්තේ.මේ සම්පත් මැනවින් කළමනාකරණය කරමින් ව්‍යවසායක් ගොඩනැඟිය හැකි මාර්ගෝපදේශ අනතුරුව ලබා දීමට හැකියි.
ලෝකයේ අනෙකුත් රටවල් හා සැසඳීමේ දී පෙනීයන්නේ අපි තවමත් අපිට ඇති සම්පත්වල වටිනාකම සහ ඒවායින් කළ හැකි දේ නොදන්නා බවයි. උදාහරණයක් ඇසුරින්ම මම ඒක පැහැදිලි කරන්නම්. කොරියාව නිෂ්පාදනය කරනවා ශක්තිජනක පානයක්. ඔවුන් ඒ සඳහා භාවිත කරන්නේ අහු ගෙඩි. නමුත් කොරියාවේ ‘අහු’ හැදෙන්නෙ නෑ. ඔවුන් ඒ සඳහා අහු ගෙඩි මැලේසියාවෙන් ආනයනය කරනවා. නමුත් අපි තවමත් ‘අහු’ පාවිච්චි කරන්නේ හූණියම් කැපීම වගේ අභිචාර කටයුතුවලට.
අපි වෙනසක් ඇති කළ යුත්තේ මේ ආකල්ප රටාවයි. ජපානය, චීනය, ඉන්දියාව වැනි රටවල් වෛද්‍ය වෘත්තීය, ඉන්ජිනේරු කර්මාන්තය දියුණු තැනකට පත්කරගෙන තිබෙනවා. නමුත් ඒ සමඟම ඔවුන් ව්‍යවසායකත්වයේ අගය, වටිනාකම, එහි ඇති ජාතික වටිනාකම ගොඩනැඟුවා. ව්‍යවසායකයකු හා ව්‍යාපාරිකයකු අතර ඇති වෙනස සහ ව්‍යවසායකයෙක් වීමෙන් අත්කරගත හැකි අසීමිත අපේක්ෂාවන් සහ ආර්ථික සමාජ මෙහෙවර පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇතිකිරීමෙන් දක්ෂ දරුවන් මේ ඔස්සේ මෙහෙයවිය හැකියි. අවශ්‍ය වෙන්නේ ගිනි පුළිඟුව දැල්වීම පමණයි. දරුවන් ඒ ඔස්සේ තමන්ගේ පාර හදාගන්නා බව අත්දැකීමෙන්ම තහවුරු වෙනවා.”
ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ ව්‍යවසායකත්ව කව ඇතිකිරීමෙන් අනතුරුව විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ සැලසුම්සහගතව ව්‍යවසායකත්වය පිළිබඳ දැනුම හා ආකල්ප සංවර්ධනය සහ අත්දැකීම් බහුල කරගැනීමේ වැඩසටහන් සැලස්මකට අනුව කටයුතු කරයි. ඒ අනුව ව්‍යවසායකත්ව කවය භාරව කටයුතු කරන්නේ නදීෂා ප්‍රියන්ති ගුරු මහත්මියයි.
“නදීශා මහත්මිය පවසන්නේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහාය මෙන්ම විදුහල්පතිතුමාගේ මඟපෙන්වීම මෙන්ම ආදි ශිෂ්‍ය ව්‍යවසායකයින්ගේ හා දරුවන්ගේ නිරන්තර කැපවීම නිසාම පාසල තුළ ව්‍යවසායකත්වයේ බීජ රෝපණය කිරීමට හැකිවී තිබෙන බවයි.
බණ්ඩාරනායක විද්‍යාලය වෙතින් දැනටමත් උසස් ප්‍රමිතියකින් යුතු පාරිභෝගික නිෂ්පාදන දෙකක් එළිදක්වා තිබේ. ඒ වට්ටක්කාවලින් සැකසූ කුකීස් බිස්කට් එකක් සහ හිසෙහි ගල්වන ඖෂධීය තෙලකි. මේ නිෂ්පාදන සඳහා අවැසි විද්‍යාත්මක දැනුම මෙන්ම තාක්ෂණික මඟපෙන්වීම ලබා දී ඇත්තේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය උගන්වන ගුරුවරිය වන චාමින්දි මහත්මියයි.
“ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය නිර්දේශය තුළ නව නිෂ්පාදන පිළිබඳ පාඩමක් ඇතුළත් වෙනවා. අපි මෙය වඩාත් ප්‍රායෝගිකව කිරීමට උත්සාහ කිරීම නිසා දරුවෝ බොහෝ දෙනෙක් නවතම නිර්මාණ කිරීමට උත්සුක වුණා. සීමිත කාලය ඔවුන් වඩාත් නිර්මාණශීලිව යොදා ගෙන නව නිපැයුම් කීපයක්ම හඳුන්වාදීමට සමත්වුණා”
එසේ නව නිෂ්පාදනයක් ලෙස රසවත් බිස්කට් වර්ගයක් නිපදවූ ඉෂාන් නදීෂ පෙරේරා පැවසුවේ මෙවන් අදහසක්.
“වට්ටක්කා කියන්නේ අතිරික්තයක් ඇතිවීම නිසාම කාලෙකට අපතේ යන ආහාරයක්. නමුත් එහි ඇති ගුණය මෙන්ම නිෂ්පාදන අමුද්‍රව්‍යයක් ලෙස ඇති නම්‍යශීලි බව නිසාම අගය එකතුකළ නිෂ්පාදනයක් ලෙස ඉහළ වටිනාකමක් ඇති ආහාරයක්. මම ඒ ඇසුරින් රසවත් කුකීස් එකක් සැකසුවේ ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිත විදිහටයි. මේ සඳහා කිසිදු රසකාරකයක් භාවිත කර නෑ. අපේ රටේ ක්‍රියාත්මක ආහාර පනතේ රෙගුලාසි පිළිබඳ දැනුම්වත්වයි මෙය සකස්කර තිබෙන්නේ. මම ව්‍යවසායකත්ව කවයේ නිෂ්පාදන අංශයේ කටයුතු කරන ශිෂ්‍යයෙක් අපගේ ව්‍යවසායකත්ව කවය ගොඩනඟා තිබෙන්නේ නිෂ්පාදනය, ඇසිරීම, ප්‍රවර්ධනය, බෙදාහැරීම මෙන්ම ගිණුම්ගත කිරීම වැනි ව්‍යවසායක ඇති සෑම අත්දැකීමක්ම ප්‍රායෝගිකව අත්දැකිය හැකි ආකාරයෙන්.
බණ්ඩාරනායක විද්‍යාලයේ ව්‍යවසායකත්ව කවයේ මෙම සාමූහික කාර්යයන් පිළිබඳ දැනුම, අත්දැකීම් වර්ධනය වැඩිදියුණු කිරීම අවැසි වැඩසටහන් සංවිධාන කරන්නේ ව්‍යවසායකත්ව කවයේ ඉහළ කළමනාකරණ කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන යහල් ද සොයිසා සිසුවායි.
“ව්‍යවසායකත්ව කවයේ කටයුතු අපි සංවිධාන කරන්නේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන ආකාරයටයි. නිෂ්පාදන කටයුතු කරන අපේ සහෝදරයින් බොහෝ වෙලාවට විද්‍යාගාර තුළ ඔවුන් පර්යේෂණ කටයුතු උදෑසන 6.30ට පමණ ආරම්භ කරනවා. මේ ආකාරයෙන් නිෂ්පාදනය කළ දේවල් දැන් අවස්ථා කීපයකදීම අපි පාසල තුළ පැවැත්වූ ප්‍රදර්ශනවල දී අලෙවි කළා. ඉදිරියේ දී මේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා පාසල ඉදිරිපිට අලෙවි කුටියක් ස්ථාපිත කිරීමටත් යෝජනා වී තිබෙනවා. වැදගත්ම කාර්ය දැනටමත් අපේ පාසලෙන් අධ්‍යාපනය ලැබ ව්‍යවසායකයන් ලෙස කටයුතු කරන විශාල වැඩිහිටි සොයුරන් පිරිසක් සිටිනවා. මේ වන විට ඔවුන්ගේ මඟපෙන්වීම ලැබෙනවා.
යු.කේ. යසිරු දිල්ෂාන් හිස ගල්වන නිෂ්පාදනයක් නිපදවූ නායක පුතෙක්” වැඩිදෙනෙක් රැකියාවලට යන නිසා දූවිලි කුණු රැඳීම නිසාම හිස්හොරි වැනි කෙස් ආශ්‍රිත රෝග බහුල වී තිබෙනවා. මේ සඳහා සුදුසු සුදු පොල්තෙල් සැවැන්දරා, කරපිංචා, උළුහාල් ආදිය යොදා විටමින් ඊ එක්කර සැකසූ තෙලක් එය. සුවඳ සහ ඉහළ ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතයෙන් මේ තෙල වඩාත් සෞඛ්‍යාරක්ෂිතවයි හදලා තියෙන්නෙ.
සැබවින්ම නායකවරු කවදත් රටට එක්කර තිබෙන්නේ සාඩම්බර අත්දැකීමක්. දැයේ දරුවන්ට ආදර්ශයක් දෙමින් ක්‍රියාත්මක ව්‍යවසායකත්ව කවයෙන් මෙරට අර්ථිකයට වෙනස් අනුපමේය මෙහෙයක් සිදුවේවායි අපිදු අපේක්ෂා කරමු.

දරුවන්ගේ නිෂ්පාදන