Home » රාත්‍රී කාලයෙත් පහන් නොදැල්වෙන පන්නිපිටිය හංදියේ ගුවන් පාලම

රාත්‍රී කාලයෙත් පහන් නොදැල්වෙන පන්නිපිටිය හංදියේ ගුවන් පාලම

by mahesh
May 17, 2024 1:00 am 0 comment

උදේනි චන්ද්‍රසිරි - මහරගම

174 කොට්ටාව – බොරැල්ල බස් මාර්ගයේ පන්නිපිටිය හන්දියේ ගුවන් පාලමේ සවිකොට තිබෙන විදුලි පහන් පද්ධතියේ ලාම්පු, දැනට මාස තුනක පමණ කාලයක සිට ලෙකෝ පෞද්ගලික විදුලි සමාගම ක්‍රියා විරහිත කර තිබෙන බැවින් රාත්‍රී කාලයේ එම පාලම ඔස්සේ මහත් අසීරුවෙන් වාහන ගමන් ගන්නා බව, වාහන හිමියන් මෙන්ම මඟ දෙපස ගමන් ගන්නා පදිකයෝද චෝදනා කරති.

අධිවේගී මාර්ගය ඔස්සේ, කොළඹ සහ කොට්ටාව බලා ධාවනය කෙරෙන සංචාරක බස්රථ ඇතුළු රථ වාහන විශාල සංඛ්‍යාවක් දිනපතා, දවල් කාලයේ සහ රාත්‍රී කාලයේ මෙම ගුවන් පාලම ඔස්සේ ධාවනය වේ.

මෙම කරුණ පිළිබඳව ලෙකෝ සමාගමෙන් විමසූවිට ඔවුන් සඳහන් කළේ, රුපියල් 15,000/- ක හිඟ බිල්පත මාර්ග සංවර්ධන අධිකාරිය නොගෙවූ බැවින් විදුලිය විසන්ධි කර තිබෙන බවය. වැඩිදුරටත් සඳහන් කළේ, හිඟ මුදල ගෙවීමෙන් අනතුරුව විදුලි පහන් යථා තත්ත්වයට පත් කළ හැකි බවය.

මෙම කරුණ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ කොළඹ – විධායක ඉංජිනේරුවරයාගෙන් විමසූ විට දැන ගැනීමට ලැබුණේ, පසුගිය කොරෝනා කාලයේ පැවැති මූල්‍ය අර්බුදය හේතුවෙන් අධිකාරියට ලැබිය යුතු ප්‍රතිපාදන නොලැබීම නිසා, මාර්ග සංවර්ධන අධිකාරියේ මූල්‍ය අර්බුදයක් මතුවී තිබීම, මෙම තත්ත්වයට හේතුව බවය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මෙම ස්ථානයේ විදුලිය සැපයීම වෙනුවෙන් රුපියල් 45,000/- ක පමණක හිඟ මුදලක් මේ වන විට, ලෙකෝ සමාගමට ගෙවීමට තිබෙන බවය.

ප්‍රතිපාදන මේ වන විට ලැබී තිබෙන බැවින්, හිඟ මුදල පියවා මෙහි තිබෙන විදුලිය පහන් සක්‍රිය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT