Wednesday, September 18, 2024
Home » සිරි ලක් සඟ සසුනට පිදෙන ගුරුදෙව් සුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය

සිරි ලක් සඟ සසුනට පිදෙන ගුරුදෙව් සුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය

by sachintha
May 20, 2024 1:51 am 0 comment

රුපියල් කෝටි 50ක වියදමින් හෝමාගම කිරිවත්තුඩුවේ ඉදි වන ‘ගුරුදෙව් සුව අරණ ගිලන් මධ්‍යස්ථානය’ නුදුරේදී විවෘත කිරීමට නියමිතය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

හෝමාගම මැතිවරණ කොට්ඨාසය මෑත කාලීනව සිදු වූ අගනා සංවර්ධන ප්‍රවේශයකට ලක් වීම සම්බන්ධයෙන් එම ප්‍රදේශවාසීන්ට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. ආර්ථික, සමාජීය, අධ්‍යාපනික හා සංස්කෘතික වශයෙන් මේ ප්‍රදේශය ලක්දිවට මහත් අභිමානයකි. මේ අතරට අලුතින්ම එක් වන්නේ හෝමාගම කිරිවත්තුඩුවේ ඉදි වුණ මෙරට විශාලතම භික්ෂු රෝහල වන ‘ගුරුදෙව් සුව අරණ’ යි.

කොහුවල ශ්‍රී ධාතුමළු විහාරස්ථානයේ වැඩ වාසය කළ අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත මාපලගම සිරි සෝමිස්සර නාහිමියන් ජීවත්ව සිටියදී තම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවර පිටිගල සෝනුත්තර හිමියන් දැනුවත් කළේ, ශ්‍රී ලංකාව තුළ හා විදෙස්හි සිට මෙරටට පැමිණ වැඩවාසය කරන භික්ෂූන් වහන්සේ ගිලන් වීමේදී නේවාසිකව වැඩ සිටීමට භික්ෂු විවේකාශ්‍රමයක් ප්‍රතිෂ්ඨාපනය කළ යුතු බවයි. භික්ෂු අරණ ගොඩනැඟීමේ කර්තව්‍යයට උන් වහන්සේට දායක වන්නට නොහැකි වුවද ඒ බෝධිසත්ත්ව අදහස නියාමාකාරයෙන් ඉටු කරවීමට එහිමියන් ගත් උත්සාහය සඵල කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කොහුවල ධාතුමළු විහාරයේ විහාරාධිපති පිටිගල සෝනුත්තර හිමියන් ගොඩනැඟූ මේ ගුරුදෙව් සුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය අපට හඳුන්වා දිය හැකිය.

කොහුවල ධාතුමළු විහාරයේදී 1976 වසරේදී පැවිදි වූ පිටිගල සෝනුත්තර හිමියෝ කොළඹ මරදාන ශ්‍රී ලංකා විද්‍යාල පිරිවෙනින් උසස් පෙළ අවසන් කිරීමෙන් පසු පේරාදෙණි සරසවියෙන් සමාජවිද්‍යා ගෞරව විශේෂ උපාධිය හිමි කරගෙන, පේරාදෙණියේ සඟබෝ පිරිවෙනෙහි ආචාර්යවරයකු ලෙස තම වෘත්තීය ජීවිතය ඇරඹූහ. ඉන් අනතරුව පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනෙහිත්, ඉක්බිති අධ්‍යාපන අමාත්‍යාංශයේ සමාජවිද්‍යා අංශයේ ගුරු උපදේශකවරයකු ලෙසත් කටයුතු කර, 2005 වසරේ රාජ්‍ය සේවයෙන් ඉසුඹු ලැබූහ.

මනා භික්ෂු රෝහලක් නිමකිරීමට සුදුසු මනරම් බිම්කඩක් පූජාවක් ලෙස තිළිණ කිරීමට කොට්ටාව සිරි වජිරඤාණ සෙනසුනේ අනුශාසක බෝධිසත්ත්ව ගුණෝපේත කඩවත සමින්ද ස්වාමීන් වහන්සේ පියවර ගෙන ඇති අතර, සෙසු බිම් කොටස පූජා කරනු ලැබ ඇත්තේ අතපත්තුගේ මැගිලින්නෝනා උපාසිකා මාතාව, දියණිය වන යකුපිටියගේ සන්ධ්‍යා කාන්තිලතා මහත්මිය හා ඇයගේ සැමියා වන සිසිර කුමාර කරුණාරත්න මහතා විසිනි.

ගුරුදෙව් සුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය පරිපූර්ණ රෝහලක් ලෙස නිම කිරීමට විශාල අනුග්‍රහ දායකත්වයක් අවශ්‍යව ඇති මොහොතක දායකකාරකාදීන්ට අමරතව විශේෂයෙන් මේ රෝහල් උපකරණ සහ රෝහල ඉදි කිරීමට නොමඳ සහය දීමට ඉදිරිපත් වූ දකුණු කොරියවේ තේගු නුවර ශ්‍රී ලංකාරාමාධිපති දකුණු කොරියාවේ සංඝනායක කටුවන විජිතවංශ හිමිගේ අනුග්‍රහයත් දකුණු කොරියාවේ බෞද්ධ රෝහලේ ප්‍රධානී නියුං හියෑං භික්ෂුණියගේ සහ තායිවානයේ කෞෂෝන් ලොං ෆොං ආරාමයේ සින් දාවෝ භික්ෂුණියගේ සක්‍රීය දායකත්වයත් මහත් සේ අගය කළ යුතුය.

2016 වසරේදී හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් මහාවිහාරාධිපති ශාසනශෝභන ත්‍රිපිටකවාගිශ්වරාචාර්ය, සිරිසීලවංසාලංකාර, පරියත්ති විශාරද, ත්‍රිපිටක ධර්මචක්‍රවර්තී, ශාසන කීර්ති ශ්‍රී, රාජකීය පණ්ඩිත විනයාචාර්ය, විනය විශාරද, අග්ගමහාපණ්ඩිත, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරන්දර, අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මේ භික්ෂු අරණට මුල්ගල් තැබූයේ දායක වූ සියල්ලන්ගේ කැපවීමේ අනර්ඝ ප්‍රතිඵලයක් වශයෙනි.

යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් විශ්ව ශක්තිය ගලා ඒමට අවකාශය සැකසූ ඉතා මනරම් කැණිමඬලක් සහිතව සුන්දර පරිසරයකට මුහුණ ලා ඉදි වුණ මේ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ එක්වර භික්ෂූන් වහන්සේ 50කට නේවාසිකව ප්‍රතිකාර ගැනීමේ හැකියාව පවතී. පිටිගල සෝනුත්තර හිමි විසින් රෝහලකට අවශ්‍ය සියලු පහසුකම් මෙහි අන්තර්ගත කරවීමට ගත් උත්සාහය එහි නේවාසිකව වැඩ වෙසෙමින් ප්‍රතිකාර ගන්නා භික්ෂු හිමිවරුන්ට මහත් පහසුවක්ව තිබේ. එසේම භික්ෂූන් වහන්සේගේ ඥාතීන්ට සහ එම ගම්වාසීන්ටද ප්‍රතිකාර ගැනීමට කටයුතු සැලසුම් කරමින් පැවතීම ගම්වාසීන්ටද අස්වැසිල්ලක් වනු ඇත. පිටිගල සෝනුත්තර නාහිමි සහ දායක සභාව විසින් මෙහි නිසි අධීක්ෂණය සිදු කෙරෙන අතරම පරිපාලනය කමිටුවක් විසින් සිදු කෙරේ. සුදුසුකම් ලත් වෛද්‍යවරුන් යටතේ රෝගි භික්ෂූන් වහන්සේට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නිදහස මෙන්ම භික්ෂූන් වහන්සේ 500කට භාවනානුයෝගිව වැඩ හිඳීමට සුදුසු වපසරියද මේ අරණෙහි නොඅඩුව සකසා තිබීම සුවිශේෂ කරුණක් ලෙස සඳහන් කළ යුතුය.

පස්මහල් සහ තුන්මහල් ගොඩනැඟිලි දෙකකින් යුතු මේ රෝහල කාමර 20ක් ඇතුළත්ව සාමාන්‍ය වාට්ටු අංගණයකින්ද සමන්විත වේ. දාන ශාලාවක්, වෛද්‍ය නිල නිවාස, හෙද නිල නිවාස, අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සඳහා නිල නිවාස මෙන්ම විදුලි සෝපාන පහසුකම් හා දෛනික අවශ්‍යතා සඳහා බෙහෙත් සංචිතයක් හා ඖෂධ ශාලාවක්ද ස්ථාපිතව පවතී.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් ශරීරය, මනස සහ ආත්මය තුළ සමතුලිතතාව පවත්වාගැනීමට අවධානය යොමු කරමින්, සාම්ප්‍රදායික පරිපූර්ණ සුව කිරීමේ පද්ධතියක් සහිත දේශීය ආයුර්වේද වෙදකමත්, ඖෂධ, ශල්‍යකර්ම සහ උසස් වෛද්‍ය තාක්ෂණයන් භාවිතයෙන් විශේෂිත රෝග නිර්ණය කිරීම, විකිරණ ප්‍රතිකාර සහ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා උසස් වෛද්‍ය තාක්ෂණය මත රඳා පවතින ප්‍රතිකාර කිරීම් කෙරෙහි අවධානය යොමු කිරීමට බටහිර වෛද්‍ය ක්‍රමයත් එකම රෝහලකින් ගැනීමට අන්තර්ගත කර තිබීම තවත් සුවිශේෂත්වයකි.

නාමලී මාකලන්දාව

ඡායාරූප – තුසිත චන්ද්‍රකුමාර

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x