වනාන්තර විනාශ නොකර රබර් වගා කිරීම සඳහා රබර් නිෂ්පාදනය කරන රටවලට යුරෝපා සංගමයෙන් හඳුන්වා දුන් නිෂ්පාදන නියාමන පනත ( European Union Deforestation free Regulations- EUDR ) ශ්‍රී ලංකා රජය සාර්ථකව ක්‍රියාත්මක කිරීම එම සංගමයේ ඇගයීමට ලක්ව ඇත.
රබර් නිෂ්පාදනය හා ඒ ආශ්රිත නිෂ්පාදන අපනයනය කරන රටක් වශයෙන් ශ්‍රී ලංකාව ද එම පනතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ වනාන්තර විනාශ නොකර මෙරට රබර් වගාව ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා රජය විසින් පසුගිය කාලයේ ගනු ලැබූ පියවර යුරෝපා සංගමයෙන් ඇගයීමට ලක් කර ඇති බව පසුගියදා මෙරට සංචාරයේ නිරත වූ සුප්‍රකට මිචලින් කර්මාන්ත සමූහයේ නියෝජිතයන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.
එම නියෝජිත පිරිස පසුගියදා (17) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී ඇමැති මහින්ද අමරවීර මහතා හමුවී මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මේ වසරේ හෙක්ටයාර් 1173ක රබර් වගාව ව්‍යාප්ත කිරීමට නියමිතය. එමෙන්ම ඉදිරි කාලයේදී පහතරට තෙත් කලාපයේ ඉඩම්වල නැවත රබර් වගාව ව්‍යාප්ත කිරීමට කටයුතු නොකරන අතර, වියළි කලාපයේ තැනිතලාවල පිහිටි ඉඩම් රබර් වගාවට යොදා ගැනීමට පියවර ගෙන ඇත. දැනටමත් මොණරාගල, අනුරාධපුර, අම්පාර වැනි ප්‍රදේශවල රබර් වගාවන් ඉතාමත් සාර්ථකවී ඇති අතර, රබර් වගාව නිසා පාරිසරික වශයෙන් ධනාත්මක වෙනස්කම් රැසකට භාජනයවී ඇත. නිදසුන් ලෙස මොණරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ රබර් වගාව හේතුවෙන් සෙල්සියස් අංශක දෙකකින් උෂ්ණත්වය පවා අවම වී ඇති බව හෙළිදරව්වී ඇත.
මේ නිසා ඉදිරි කාලයේදී පහතරට තෙත් කලාපයේ ඉඩම්වල වෙනත් අපනයන කෘෂිකාර්මික භෝග වන ගම්මිරිස් වැනි කුළුබඩු වගාවට ප්‍රමුඛත්වය දීමට පියවර ගෙන ඇති බව මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේය.
කෙසේ වුවද යුරෝපා සංගමයදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කරමින් උසස් තත්ත්වයේ රබර් ලෝක වෙළෙඳපොළට දීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
දැනට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන රබර්වලින් සියයට 30ක් යුරෝපා සංගමයට අයත් රටවල් විසින් මිලදී ගනු ලබයි. මේ වන විට හෙක්ටයාර් 65,000ක රබර් වගා කර ඇති අතර, මෙට්‍රික් ටොන් 98,500ක් වාර්ෂිකව අපනයනය කරයි. රබර් අපනයනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 40ක ආදායමක් වාර්ෂිකව ජාතික ආදායමට ලැබේ.
මේ අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.
බුද්ධිකා ඉඹුලාන