යුනයිටඩ් යූත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ එකමුතුව
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වඩා හොඳ ජීවිතයක් දීමට නව යෝජනාවලියක් ඉදිරි සති දෙකේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දීමට කටයුතු කරන බව යුනයිටඩ් යූත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ එකමුතුව ප්‍රකාශ කරයි.
එසේ ඔවුන් ප්‍රකාශ කළේ යුනයිටඩ් යූත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ එකමුතුවේ මාධ්‍ය සාකච්ඡාවට පසුගියදා (16) එක්වෙමිනි. මෙය බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට යුනයිටඩ් යූත් සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර මහතා ඇතුළු එහි නියෝජිතයෝ සහභාගි වූහ.
එහිදී අදහස් දැක්වූ යුනයිටඩ් යූත් අධ්යක්ෂ මණ්ඩල සාමාජික ඩොනල්ඩ් පෙරේරා මහතා මෙලෙස පැවැසීය.
“යුනයිටඩ් යූත් සංවිධානය යටතේ ක්‍රීඩා, කලා, වෛද්‍ය, වෙළෙඳ, ව්‍යාපාරික ආදී ක්ෂේත්‍ර ගණනාවක කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. අද දිනයේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ එකමුතුවේ කණ්ඩායමක් තම වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වනවා. ඉදිරියේදී අප සංවිධානය යටතේ ක්‍රියාත්මක වන විවිධ කණ්ඩායම් සමාජ යහපත වෙනුවෙන් පෙරට ගෙන ඒමට කටයුතු කරනවා.”
යුනයිටඩ් යූත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ එකමුතුවේ සාමාජික ප්‍රවීනා ජෝසප් ද සේරම් මහත්මිය
“මම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටිනවා. මේ පිරිස පිළිබඳව ලෝකයේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා. මේ යටතේ ඇස් පෙනෙන්නේ නැති, ඇවිදීමට නොහැකි, කතා කිරීමට නොහැකි, බුද්ධිමය ගැටලු පවතින අය සිටිනවා. අපේ රටේ සිටින එවන් කොටස් පිළිබඳව රජය මෙන්ම පෞද්ගලික අංශයේ ද වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ආබාධිත පුද්ගලයන්ට පහසුකම් දීමට ක්‍රියා කළ යුතුයි. ආබාධිත දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනෙ. හැබැයි මානසික දුබලතා තිබෙන පුද්ගලයන්ට බොහෝවිට පිහිට වන්නේ පවුලේ අය විතරයි. ඔවුන් සඳහා හොඳ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීම වැදගත්. වරක් මෙවන් පිරිස් පිළිබඳව මම ජනාධිපතිවරයා සමඟ කතා කළා. අපගේ ද යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.”
යුනයිටඩ් යූත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ එකමුතුවේ සාමාජික ප්‍රියන්ත දිසානායක මහතා
“ආබාධිත දරුවන්ට විවිධ හැකියාවන් තිබෙනවා. සෞන්දර්යයට සහ ක්‍රීඩාවට ඔවුන් විශාල ලෙස ආදරය කරනවා. මෙවන් දරුවන් වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකම පාසල් පවත්වාගෙන යෑම වැදගත්. අපේ රටේ මෙවැනි දරුවන් පිළිබඳව අවධානය අඩු බව මා ප්‍රකාශ කරනවා. මේ යුනයිටඩ් යූත් සංවිධානය එවන් ආබාධිත කොටස් පිළිබඳව ක්‍රියා කිරීමට කටයුතු කිරීම ඉතා වැදගත්. එවන් පුද්ගලයන් වෙනුවෙන් කැපවී ක්‍රියා කරන සංවිධානවලට මෙන්ම පුද්ගලයන්ට ද අපත් සමඟ එකතු විය හැකියි.”
හිමෝෆීලියා සංගමයේ සභාපති ශාන්ත කරුණාරත්න මහතා
“ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් දෙන ඖෂධ හිඟයකින් තොරව දිය යුතුයි. ඒ වගේම වැඩිදියුණු කරන ලද ඖෂධ, උපකරණ ලෝකයේ භාවිත වෙනවා. ඒ පිළිබඳව ද අවධානය යොමු කිරීමට බලධාරීන් ක්‍රියා කිරීම වැදගත්.”
හිමෝෆීලියා සංගමයේ උප ලේකම් බී. ජී. එස්. ආනන්ද මහතා
“මේ රටේ ජීවත් වන ජනතාවට ද විවිධ ගැටලු පවතිනවා. මෙවන් සමාජයක විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ද ගැටලු පැනනැඟීම අනිවාර්යයි. ඔවුන්ට අප වඩ වඩා සහයෝගය දැක්වීම වැදගත්. සමාජ රැකවරණය දෙන්න ඕනෙ. උදේ පාන්දර පාරට බසින ආබාධවලට ලක්වූ පුද්ගලයන්ට සමහර කොන්දොස්තර මහත්වරුන් පළමු ටිකට් එක දෙන්නේ නෑ. එවිට ඔවුන්ට කුමක්ද සිතෙන්නේ. මෙවන් පුද්ගලයන්ට හොඳින් ජීවත්වීමට හොඳ ආකෘතියක් හදන්න ඕනෙ. අප ඒ සඳහා සහාය දෙන්න සූදානම්.”
උපාලි කරුණාරත්න
ඡායාරූපය – රංජිත් අසංක