Wednesday, September 18, 2024
Home » රුසියානු යුද්ධයට ගිය අපේ අය බේරාගන්න

රුසියානු යුද්ධයට ගිය අපේ අය බේරාගන්න

යුද්ධයෙන් තුවාල ලබා පැමිණි චන්දන බණ්ඩාර රජයෙන් ඉල්ලයි

by sachintha
May 20, 2024 1:42 am 0 comment

 

රුසියාවේ යුද්ධයට ගොස් සිටින ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් බේරාගෙන ඔවුන් මව්බිමට ගෙන්වා ගැනීමට මැදිහත් වන ලෙස එහි යුද ප්‍රහාරයකට හසුවී තුවාල ලබා දිවයිනට පැමිණ සිටින වැලිගම පදිංචි හිටපු නාවික හමුදා නිලධාරියකු වන චන්දන බණ්ඩාර ඒකනායක මහතා රජයෙන් ඉල්ලා සිටියි.

වයස 45 වන චන්දන බණ්ඩාර ඒකනායක මහතා හසලක ප්‍රදේශයේ උපත ලද දෙදරු පියෙක් වන ඔහු දැනට වැලිගම දෙණිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී.

1998 :06:16 දින නාවික හමුදාවට බැඳුණු ඒ මහතා ක්‍රියාන්විත රාජකාරියේ කටයුතු කොට පසුව පුහුණු උපදේශයකු ලෙස කටයුතු කොට 2020:06:16 දින සිය රාජකාරියෙන් විශ්‍රාම ලබාගෙන තිබිණි.

මෙම අතරතුරදී වැලිගම දෙණිපිටිය ප්‍රදේශයේ තරුණියක සමඟ ඇතිවූ ප්‍රේම සම්බන්ධතාවකින් පසුව විවාහ වී ඉන් පසුව වැලිගම දෙණිපිටිය ප්‍රදේශයේ පදිංචිවී ජීවත් වෙති.

නාවික හමුදාවෙන් විශ්‍රාම ගෙන අනතුරුව නොයෙක් රැකියාවල නිරතව සිටියද එය සාර්ථක නොවූ බවද ආර්ථික හා නොයෙක් ගැටලු මධ්‍යයේ විදේශගත වීමේ බලාපොරොත්තුවක් ඔහුට ඇති වූ බව අප සමඟ පැවසීය.

ඔහු මෙසේද පැවැසීය.

2022, 2023 කාලයේදී මහරගම ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් පිළිබඳ තොරතුරු ලැබුණා. ඔවුන් කිව්වා රොමේනියා රැකියා තිබෙනවා. ලක්ෂ දහතුනක් තමයි සම්පූර්ණ වියදම. එම ආයතනය ගැන තිබුණු විශ්වාසය මත ණය මුදලක් අරගත්තා පොලී මත. අනතුරුව ලක්ෂ තුනක් මුදල් බැන්දා සෑහෙන කාලයක් බලාගෙන හිටියා බලාපොරොත්තු දල්වාගෙන, නමුත් වසර එකහමාරක් වනතුරු මාව රැවට්ටුවා මට නැවත මුදල් දුන්නේ නෑ. ඒ ආයතනය පසුව එම මුදල් ගන්න එම ආයතනයට 17 වතාවක් ගියා නමුත් මුදල් ලැබුණේ නැහැ.

මේ සමඟ නොයෙක් ආර්ථික ගැටලු හමුවේ තවත් මාව අසරණ වුණා. කළ යුතු දෙයක් නැති වුණා.

මේ අතරතුර මට දැනගන්න ලැබුණා නාවික හමුදාවේ මිත්‍රයකු හරහා රුසියාවේ හමුදාවට බඳවා ගන්නවා කියලා. ඒ යුද්ධයට නොවෙයි මුදාගත් ප්‍රදේශවලට තමයි යවන්නේ කියලා තමයි අපව දැනුම්වත් කළේ. කිසිදේකට බය වෙන්න එපා කියලා ලක්ෂ හතක් අටක් වැටුපක් ගන්න පුළුවන් වසරකට පසු එහි පුරවැසිභාවය ලැබෙනවා. සියලු වරප්‍රසාද ලැබෙනවා කියලා කැමැතිනම් පාස්පෝට් එකේ කොපියක් එවන්න කිව්වා.

ඒ අවස්ථාවේ කටුනායක ජයලත් අයියා කුමාර කියන යාළුවකුයි නුවර විජේසුන්දර කියන යාළුවකුයි අපි හතර දෙනා පාස්පෝට් කොපි යවලා දින තුනකට පසු කිව්වා වීසා හදන්න බොරැල්ලේ රුසියානු තානාපති කාර්යාලයට එන්න. එහි අපි සම්මුඛ පරීක්ෂණයට යොමු කළා. මතකයේ හැටියට 145,000ක් මුදල් ගෙවූවා වීසා එකට කියලා.

දවස් තුනකට පස්සේ බෝපිටිය කියන අය කතා කරලා කිව්වා තානාපති කාර්යාලයට එන්න වීසා එක ගන්න.

185,000ක් දාන්න කිව්වා. ඒ මුදල දැම්මා.

යන්න මාර්තු 29 ගුවන් යානය වෙන්කරලා තියෙනවා හෝටලයට මුදල් ගෙවන්න තියෙනවා පොරොන්දු වුණු ලක්ෂ හත ගෙවන්න කියලා මට දැනුම් දුන්නා.

මගේ පාස්පෝට් අංක සහ වීසා අංක වෙනස් නිසා 29 දින යන්න නොහැකි වුණා. නමුත් මගේ අනිත් යාළුවෝ තුන්දෙනා ගියා.

පසුව බෝපිටියට සිද්ධිය කිව්වා එයා කිව්වා පසුදා උදේ අට වෙනකොට රුසියානු තානාපති කාර්යාලයට යන්න කිව්වා.

එහිදී පැයක කාලයක් තුළ වීසා එක හදලා දුන්නා.

පසුව ඇවිත් රාගම මගේ අක්කාගේ ගෙදර නැවතුනා.

නැවත ටිකට් එක හදලා දෙන්න කියලා භාගයක් ගෙවන්න ඕන කිව්වා. නමුත් මම කිව්වා මගේ ළඟ සල්ලි නෑ පස්සේ පඩියෙන් දෙන්නම් දාලා දෙන්න කියලා. එතකොට බෝපිටිය ටිකට් එක හදලා දුන්නා.

අප්‍රේල් 3 දින ලංකාවෙන් පිටත් වුණා. 4 දින එහේ 5 දින හමුදාවේ පුද්ගලයෙක් ඇවිත් මාව කඳවුරකට අරගෙන ගියා එය හෝටලයක් කිව්වට හෝටලයක් නොවෙයි. දින 14ක් පුහුණුව දෙනවා කිව්වට දින 9 පුහුණුව දුන්නා. අපි ගෘෘප්වලට කඩලා සිංහල දහදෙනෙක් ඉතිරි වුණා. තවත් අපේ හමුදා සොල්දාදුවෝ සීයක් දෙසීයක් පමණ පුහුණුව ලබමින් සිටිනවා.

යුක්‍රේනේ ලොකු ගොඩනැඟිල්ලකට අපි අරගෙන ගියා. අපේ ජංගම දුරකතන එයාලා ගත්තා. දින දෙකකට පසු දරුණු පුහුණුවක් දුන්නා අපිට හිතුනා යුද්ධයට තමයි අපි අරගෙන යන්නේ කියලා. පුහුණුව ඉවරවෙලා රෑම අරගෙන ගියා. හත් දෙනාගේ ටීම් පහක් තිබුණා. මුදාගත් නිවසක තියාගෙන එහිදී උණ්ඩ මැඟසින් බෝම්බ ඇති තරම් දුන්නා.

කෑම වතුර දුන්නේ නෑ.

කළුවරේ අරගෙන ගිහින් යුද්දෙට දැම්මා අප්‍රේල් 28 සවස 4.30 පමණ දුක්මුසු අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න සිදු වුණා.

ලොකු අපහසුතාවකට පත්වුණා ජීවිතය බේරා ගන්නවා කියන පරමාර්ථයෙන් පුපුරා ගිය යුධ ටැංකිය තුළ රිංගා ගත්තා. ඒ අවස්ථාවේදී ඩ්‍රෝන මඟින් හෙළන ලද බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වුණා.

එහිදී මගේ දක්ෂතාව හැකියාව මත රැගෙන ගිය තැනින් එළියට ආවා. දින වකවානු මතක නැහැ.

ඒ අවස්ථාවේදී මා රෝහල්ගත කළා. රෝහල් තුනක ප්‍රතිකාර ගත්තා.

අවසාන රෝහලේදී ටිකක් සුව අතට ආවා එහිදී කිව්වා තවත් විවේක ගන්න කියලා. නමුත් මට තේරුණා පස්සේ නැවත යුද්ධයට දාන බවට.

ඒ බය නිසා මා තීරණය කළා මැරුණත් මෙතනින් පනිනවා මේ රටට ඇවිත් නිකම් මැරෙන්නේ නෑ කියලා.

උත්සාහ අරගෙන මෙතනින් යන්න ඕන කියන තීරණේ ඉඳලා මා දන්නා උපක්‍රම සහ ශක්තිය යොදලා පස්වෙනි තට්ටුවෙන් පැන ගත්තා. පස්සේ තාප්පෙනුත් පැන ගත්තා. අනතුරුව කිලෝමීටර ගණනක් දිවගියා. මගේ ළඟ සල්ලි තිබුණා. ටැක්සියකට කතා කරලා මොස්කව්වල අපේ තානාපති කාර්යාලයට භාර වුණා.

ඒ අවස්ථාවේදී නිලධාරීන් මට කෑම බීම දීලා ගොඩක් උදව් කළා.

මගේ මාමා කෙනකු සල්ලි දීලා ටිකට් එක හදලා දුන්නා. අනතුරුව ඉකුත් 15 දින ලංකාවට ආවා.

මම අපේ සහෝදර ත්‍රිවිධ හමුදාවේ අයගෙන් ඉල්ලා සිටිනවා කොහොම හරි පැනලා ඇවිත් මොස්කව්වල තානාපති කාර්යාලයට ඇවිත් භාර වෙන්න. එතනට ආව කියන්නේ කොහොමත් ගෙදර ආවා වගේ තමයි.

අපේ අය ගොඩක් එහේ ඉන්නවා. කොපමණ ද කියන්න මම දන්නේ නෑ. යුද්ධයට හසුව සිටින අපේ සාමාජිකයන් මව්බිමට ගෙන්වා ගන්න වැඩපිළිවෙළක් ඇති කරන්න කියාලා මම රජයෙන් ඉල්ලා සිටිනවා.

වැලිගම – අබේවික්‍රම ගුණරත්න

ටී.කේ. මහින්ද – වැලිගම සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x