ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනීසියානු ජනරජයේ සමුද්‍රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය ලුහුත් බින්සාර් පන්ඩ්ජායිටන් (Luhut Binsar Pandjaitan) මහතා අතර හමුවක් ඊයේ (19) කුරා කුරා බාලි දූපතේ (Kura Kura Bali island) පිහිටි United In Diversityහි බාලි මණ්ඩපයේදී පැවැත්විණි.
ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය (Global Blended Finance Alliance), ශ්‍රී ලංකාවේ නිවර්තන කලාපීය මුලපිරීම (Tropical Belt Initiative), නීල ආර්ථිකය (Blue Economy) මෙන්ම මුහුදු පැළෑටි කර්මාන්තය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි. එමෙන්ම ගෝලීය දකුණේ රටවල් අතර සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරුණු අතර කඩොලාන වගා කිරීම පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් සහයෝගීතා වැඩපිළිවෙළක් ඇති කරගැනීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද අවධානය යොමු විය.
මේ කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් ද්විපාර්ශ්වික කාර්ය සාධක බළකායක් පිහිටුවීම සහ ඉන්දීය සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) වත්මන් සභාපතිවරයා ලෙස ඒ සඳහා ශ්‍රී ලංකාවේ භූමිකාව සම්බන්ධයෙන්ද සාකච්ඡා විය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහත්ම මහත්මීන් මීට එක්ව සිටි අතර, ඉන්දුනීසියානු රජය නියෝජනය කරමින් එරට සමුද්‍රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍යාංශයේ ලේකම් අයෝධායි ජී. එල්. කලාකේ (Ayodhia G.L Kalake), වන හා පරිසර කළමනාකරණය පිළිබඳ නියෝජ්‍ය සම්බන්ධීකරණ අමාත්‍ය නානි හෙන්ඩියාර්ට් (Nani Hendiarti), යටිතල පහසුකම් සහ ප්‍රවාහනය පිළිබඳ නියෝජ්‍ය සම්බන්ධීකරණ අමාත්‍ය රහ්මත් කයිමුද්දීන් (Rahmat Kaimuddin), සමුද්‍රීය සම්පත් පිළිබඳ නියෝජ්‍ය සම්බන්ධීකරණ අමාත්‍ය ෆිර්මාන් හිදායත් (Firman Hidayat), දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂ උපදේශක චෙරී නුර් සලිම් (Cherie Nur Salim) යන මහත්ම මහත්මීහු එක් වූහ.