Home » 15 වැනි ජාතික රණවිරු දින සැමරුම් උලෙළින්…

15 වැනි ජාතික රණවිරු දින සැමරුම් උලෙළින්…

by sachintha
May 20, 2024 1:00 am 0 comment

මාතෘ භූමියේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට දිවි පිදූ රණවිරුවන් ඇගයීම සඳහා වන 15 වැනි ජාතික රණවිරු දින සැමරුම් උත්සවය බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අබියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පැවැත්විණි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජනරල් ශවේන්ද්‍ර සිල්වා, හමුදාපති ලුතිනන් ජනරල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තවත් රණවිරු ප්‍රධානීන්ගේ සහාගිත්වයෙන් සහ යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන්ගේ මවුපියන් සහ ඥාතීන්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මේ සැමරුම් උත්සවය පැවැත්විණි.

ජාතික ගීය වාදනය සහ සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පිරිස දිවි පිදු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිහඬතාවක නිරත වූ අතර, රණවිරු ස්මාරකය පාමුල මල්කලඹ තබා රණවිරුවන්ට උත්තමාචාරය පුද කළහ.

ජාතියේ ප්‍රණාමය පළ කරමින් ජාතික රණවිරු සේවා අධිකාරිය විසින් ජාතික රණවිරු සැමරුම් උලෙළ අභිමානවත්ව සංවිධානය කරනු ලැබීය.

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් රොෂාන් ගුණතිලක, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු මැති ඇමතිවරු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජනරාල් නිශාන්ත මානගේ ඇතුළු නිලධාරීහු පිරිසක්ද මේ අවස්ථාවට එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT