Saturday, May 10, 2025
Home » අනතුරට ලක්වූ යානයේ සිටි පූජකයා පැය 18ක් ජීවතුන් අතර මුදා ගැනීමේ කණ්ඩායම්වලට හමුවී පැයකට පසු දිවියෙන් සමුගනී
ඉරාන ජනපති ඉබ්‍රාහිම් රයිසි ඇතුළු 9ක් ගුවන් අනතුරින් මරු දකිති

අනතුරට ලක්වූ යානයේ සිටි පූජකයා පැය 18ක් ජීවතුන් අතර මුදා ගැනීමේ කණ්ඩායම්වලට හමුවී පැයකට පසු දිවියෙන් සමුගනී

by sachintha
May 21, 2024 1:00 am 0 comment

ඒ අතරේ ජනපති කාර්යාලයට ඇමතුමක් දෙන්නත් උත්සාහ කරලා

මුලින්ම සුන්බුන් සොයා ගත්තේ තුර්කි ඩ්‍රෝන යානයක්

යානය අනතුරට ලක් වුණේ ගුවන්ගත කර විනාඩි 30කට පසුව

ශ්‍රී ලංකාවේ අද ජාතික ශෝක දිනයක්

ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ඇතුළු පුද්ගලයන් 9 දෙනකුට මරු කැඳවූ හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීමෙන් පසු ඔවුන් සමඟ ගමන්ගත් ප්‍රධාන පූජකවරයකු වන හොජ්ජටුල්ඉස්ලාම් අල් හෂීම් පැය 18ක පමණ කාලයක් ජීවතුන් අතර සිටි බවත් එම කාලය ඇතුළත ජනාධිපති කාර්යාලයට දුරකතන ඇමතුමක් දීමට දැඩි උත්සාහයක නිරත වී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. මෙහෙයුම් කණ්ඩායම් අදාළ ස්ථානය වෙත ළඟා වන විට ද ජීවතුන් අතර සිටි ප්‍රධාන පූජකවරයා ඉන් පැයකට පමණ පසු ජීවිතක්ෂයට පත් වූ බව වැඩිදුරටත් වාර්තා වේ. ඝන මීදුම හේතුවෙන් සිදුවූ අනතුරක් බවට මූලික පරීක්ෂණයේදී වාර්තා වුවද මේ අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශනයක් සිදු කිරීමට ඉරානය තීරණය කරන්නේ නම් ඒ සඳහා සියලු ආකාරයෙන් සහාය වීමට ඉදිරිපත් වන බව රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සර්ජියෝ ෂොයිගු ප්‍රකාශ කර තිබේ. මේ අතර ජනාධිපතිවරයාට මරු කැඳවූ මාරක හෙලිකොප්ටර් අනතුර සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස එරට යුද හමුදාවේ කාර්ය මණ්ඩල ප්‍රධානි මොහොමඩ් බගේරි නියෝග කර ඇතැයි ඉරාන මාධ්‍ය සඳහන් කළේය. හෙලිකොප්ටර් අනතුරට සැබෑ හේතුව සොයා ගැනීමට එරට ඉහළ මට්ටමේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර එම පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලෙස ඔහු නියෝග කර ඇතැයි වාර්තා වේ.

මුලින්ම යානයේ සුන්බුන් සොයාගැනීමට හැකි වී ඇත්තේ තුර්කි ඩ්‍රෝන යානවක් මගිනි. ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි සමඟ එරට විදේශ ඇමැති හොසේන් අමීරබ්ඩොල්ලාහියන්, නැඟෙනහිර අසර්බයිජාන් ආණ්ඩුකාර මලික් රහ්මටි, ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනිගේ නියෝජිතයකු, ජනාධිපති රයිසිගේ ආරක්ෂක හමුදාවේ ප්‍රධානියා වන බ්‍රිගේඩියර් ජනරාල්වරයකු, ඉරාන විප්ලවීය හමුදාවේ ආරක්ෂක නිලධාරියකු, වයඹදිග අසර්බයිජාන්හි ටබ්රිස් නුවර සිකුරාදා දේව මෙහෙය සිදු කළ ප්‍රධාන පූජකවරයා සහ හෙලිකොප්ටර් යානයේ නියමුවා සමඟ සහාය නියමුවා අනතුරින් මිය ගිය බව ඉරාන රජයේ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ඇතුළු සියලු පුද්ගලයන්ගේ අවසන් කටයුතු අද (21) සිදු කිරීමට නියමිත බව ඉරාන රජයේ මාධ්‍ය ඊයේ නිවේදනය කළේය. අද (21) උදෑසන ඉරාන වේලාවෙන් 9.30ට ඉබ්‍රාහිම් රයිසිගේ දේහය ටෙහ්රාන් අගනුවරට රැගෙන ඒමට නියමිත බව ද වාර්තා වේ. ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි සිය ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් දින 5ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, කිසිදු විවේකයක් නොලබා දිවා රාත්‍රී රට වෙනුවෙන් ජනාධිපතිවරයා කළ සේවය පිළිබඳ ඉහළ ඇගැයීමට ලක් කළ යුතු බව ද ප්‍රකාශ කර තිබේ. ඉරානයට අවංකව, කැපවීමෙන් කටයුතු කරන රාජ්‍ය සේවකයකු අහිමි වූ බව ද අයතුල්ලා කමේනි වැඩිදුරටත් සඳහන් කර තිබේ. ඉරානයේ අසර්බයිජාන් දේශ සීමාව ආසන්නයේ වේල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වී ආපසු පැමිණීමට ගුවන්ගත කිරීමෙන් මිනිත්තු 30කට පසු අනතුර සිදු වී ඇති අතර, ඒ සමඟම හෙලිකොප්ටර් යානයේ ගමන් කළ සියලු පුද්ගලයන්ගේ ජංගම දුරකතන විසන්ධි වී ඇතැයි ද හෙලිකොප්ටර් යානයේ රේඩියෝ පණිවිඩ සන්නිවේදනය බිඳවැටී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වී පැය 18කට පසු ඊයේ අලුයම අනතුර සිදුවූ ස්ථානය සොයා ගැනීමට හැකි වූයේ මෙහෙයුම් කණ්ඩායම් 40ක් රාත්‍රිය පුරා අඛණ්ඩව සිදු කළ මෙහෙයුමකින් පසුවය. ජනාධිපතිවරයා සහ ඔහු සමඟ ගමන්ගත් ඉරාන විදේශ ඇමැති ඇතුළු පුද්ගලයන් 8 දෙනකුගේ සිරුරු අනතුර සිදුවූ ස්ථානයේදීම හමු වී ඇති අතර, ඇතැම් පුද්ගලයන්ගේ මළසිරුරු හඳුනාගත නොහැකි අයුරින් පිලිස්සී තිබූ බවත් ඉරාන මාධ්‍ය සඳහන් කළේය. කෙසේ වුවද මළ සිරුරු හඳුනා ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් අවශ්‍ය නොවූ බව ඉරාන ආපදා කළමනාකරණ ඒජන්සියේ ප්‍රධානි මොහොමඩ් නාමි ප්‍රකාශ කර තිබිණි.

ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසිගේ අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා රජය අද (21) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අනුව සියලු රාජ්‍ය ආයතනයකම ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ඉල්ලීමක් කරයි.

 

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT