ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව අධිකරණයෙන් නියෝග කළ වාර්තා ලබන 30 වැනිදාට පෙර ලබා නොදෙන්නේ නම් එදිනට පුද්ගලිකව අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ (09) නියෝග කළාය.
එසේම, අධිකරණයෙන් ලබාදුන් නියෝග ප්‍රකාරව මෙම නඩුවේ විමර්ශනවලට අදාළව මෙතෙක් ලබා නොදුන් ලිපි ලේඛන කිහිපයක් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසද අධිකරණයෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ අනුකමිටුවේ සභාපතිවරයාට නියෝගයක් නිකුත් කෙළේය.
මෙම සිද්ධියේ 12 වැනි සැකකරු වන ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් රණසිංහ ගුණසේකර යන අයට අදාළ විමර්ශන සිදු කිරීම සඳහා වන වීඩියෝ පට කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වහාම ලබා දෙන ලෙස ද අධිකරණයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කෙළාය.
එසේම, මෙම සැකකරුට අදාළ කටහඬ පරීක්ෂාව සහ අත් අකුරු පරීක්ෂාව සඳහා ඉදිරිපත් කර වාර්තා ඉදිරිපත් කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට සහ රජයේ අත්අකුරු පරීක්ෂකවරයාට ද අධිකරණයෙන් නියෝගයක් නිකුත් විණි.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (20) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය සහ පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත යන අයවලුන් ඇතුළු සැකකරුවන් 09 දෙනකු ඊයේ (20) බන්ධනාගාරය මඟින් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබුණු අතර, බන්ධනාගාර නියාමකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාරය අධිකරණයට දැනුම් දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය – ස්වාමිනි, රුපියල් ලක්ෂ 1444ක සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ වරද සිදු කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ කුමන්ත්‍රණයට අනුබල දීමට අදාළව මෙහි දෙවැනි සිට එකොළොස්වන දක්වා සැකකරුවන් මේ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් ඔවුන්ගේ නිල රාජකාරිය සිදුකරන අවස්ථාවේදී නීතිවිරෝධී ක්‍රියාවන් සිදුකරමින් පළමුවැනි සැකකරුට අදාළ අපරාධය සිදුකිරීම සඳහා කුමන්ත්‍රණයෙන් අනුබල දුන්නේ කෙසේද? ඒ අනුබල දීම හේතුකොටගෙන පළමුවැනි සැකකරු ජනරජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහණය කිරීම කියන වරද සිදුකිරීම සහ එම වරද සිදුකිරීමට මෙම සැකකරුවන් අනුබල දී තිබුණේ කොහොමද කියලා විමර්ශන කරලා අධිකරණයට කරුණු වාර්තා කළා. මෙම සිද්ධියට අදාළ විමර්ශනවලට අදාළ වාර්තා කිහිපයක් ලබා දීමට සඳහා ඉකුත් නඩු දිනයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට අධිකරණයෙන් නියෝග නිකුත් කළා. ඒත් වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා මෙම නඩුවේ විමර්ශන සඳහා උද්‍යෝගයෙන් යුතුව සහාය දක්වන්නේ නැහැ. එම වාර්තා ලබා දෙන ලෙසට අධිකරණ නියෝග ඉදිරිපත් කරමින් කිහිප වරක්ම ඉල්ලීම් කළත් මෙතෙක් ඊට නිසි උද්‍යෝගයෙන් යුතුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පුද්ගලිකව අධිකරණයේ පෙනී සිටීමට නියෝග නිකුත් කිරීමට සිදු වෙනවා. ඒ හේතුවෙන් ලබන 30 වැනිදාට පෙර එම ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා නොදුනහොත් පුද්ගලිකව අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙහි 12 වන සැකකාර ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් රණසිංහ ගුණසේකර යන අය සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට අදාළව කටහඬ සහ අත්අකුරු පරීක්ෂා කරන්න අවශ්‍ය නිසා ඔවුන් රජයේ රස පරීක්ෂකවරයා සහ රජයේ අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවිය යුතුව ඇති බැවින් ඊට අදාළ නියෝග නිකුත් කරන ලෙසට ඉල්ලා සිටිනවා. මෙම සිද්ධියට අදාළ විමර්ශන සඳහා අවශ්‍ය ලිපි ලේඛන කිහිපයක් මෙතෙක් ලබා නොදීම සම්බන්ධයෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ අනු කමිටුවේ සභාපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසට ද ඉල්ලා සිටිනවා. මෙහි පළමු සැකකරු ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 22 වැනි වගන්තිය යටතේ වංක චේතනාවෙන් කටයුතු කළා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න අසමත් වූ බවට විත්තිය චෝදනා කළා. මෙහි පළමු සැකකරු සිදුකර ඇතැයි කියනු ලබන වැරදි ඉලක්කගත කර සිදුවන බව පෙනෙන්නේ නැහැ කියලා කිව්වා. ඖෂධ නියාමන අධිකාරිය භාවිතයට ගන්නා ලද අදාළ නඩු භාණ්ඩ පරීක්ෂාවට යවද්දී ඒ සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ගෙනල්ලා ඒවා පෙන්නලා විමර්ශනයට යැව්වේ නැහැ. ඒ නිසා අගතියක් වෙලා කියලා විත්තියෙන් කිව්වා. මෙය සාධාරණ නඩු විභාගයක් අහිමි වීමක් කියලා කිව්වා. නමුත් රෝගීන්ට මෙම බෙහෙත් එන්නත් කරන අවස්ථාව දක්වා අදාළ බෙහෙත් ද්‍රව්‍ය සෙල්සියස් අංශක 2 සිට අට දක්වා උෂ්ණත්වයක තියෙන්න ඕනෑ. නිෂ්පාදනාගාරයේ සිට රෝගියාට එන්නත් කරන අවස්ථාව දක්වා අදාළ උෂ්නත්වය රඳා පැවැතිය යුතු වෙනවා. මෙහි පළමු සැකකරු ලබා දෙන බෙහෙත් අනෙක් සැකකරුවන් අදාළ උෂ්ණත්වය ආදිය පවා පරීක්ෂා කරන්න ඕනෑ. වෙනතැනක ගබඩා කරලා ඒවා රෝගීන්ට එන්නත් කරන්න බැහැ. එයින් රෝගියාට අනතුරක් වෙනවා. ඒ නිසා මීට අදාළ දෙවැනි සැකකරු අධ්‍යක්ෂවරයා අදාළ රෝහල වෙත වෛද්‍ය සැපයුම් අංශය වෙතින් ලබා දෙන ලද බැජ් අංක සඳහන් සියලු බෙහෙත් ශීතාගාරවලින් රෝගීන්ට නිකුත් කරන්න එපා කියලා නියෝගයක් නිකුත් කළා. මෙම තහනම් කළ බෙහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට පරීක්ෂාවට යොමු කළා. සැකකරු ඉදිරිපිට එය සිදුකළ යුතුයි කියලා නියමයක් නැහැ. සියලු නඩු භාණ්ඩ රසායනාගාර පරීක්ෂාව සඳහා යොමු කළා. මෙම නිෂ්පාදනය ලංකාවේදී නිෂ්පාදනය කළ බවත්, එය පිටරටක නිෂ්පාදනය කරන්න ඕනෑ එකක් ලංකාවේදී නිෂ්පාදනය කළා කියලා පළමු සැකකරු පිළිගත්තා. එය වැරැද්දක් කියලා පනතේම දක්වා තිබෙනවා. දැන් පළමු විත්තිකරු පැහැදිලිව පිළිගන්නවා ඒ බෙහෙත් ආනයනය නොකර මේ රටේ නිෂ්පාදනය කළා කියලා. එම වරදම ඔහු වංක චේතනාවෙන් සිදු කර ඇත්තේ අයුතු ලාභයක් ලබාගැනීම සහ යමෙකුට අයුතු ලාභයක් ලබා දීම සඳහායි. මෙය තමයි විමර්ශනය කළේ. ඊට අදාළ ඉන්වොයිස් සහ සියලු ලිපි ලේඛන මඟින් මෙම විමර්ශනය කළා. ඒ අනුව මෙහි දෙවැනි සැකකරු සිට 12 වැනි සැකකරු දක්වා එකී අපරාධය සිදුකිරීම සඳහා ඔවුන්ගේ රාජකාරිමය තැන සිට ඔහු සමඟ වංක ලෙස කටයුතු කරලා. ඊට ආධාර අනුබල දීලා. පැමිණිල්ල කිසිදු අවස්ථාවක අනවශ්‍ය විමර්ශනයක් කළේ නැහැ. අනනුකූල විමර්ශනයක් කළේ නැහැ. ඒ ගැන කියන්න රජය වෙනුවෙන් අප බැඳී සිටිනවා. මෙම නඩුවේ හතරවැනි සැකකරු ඇප ඉල්ලා සිටිනවා ඔහුගේ බාලවයස්කාර දියණියගේ රෝගී තත්ත්වය ගැන සඳහන් කරමින්. පියා රිමාන්ඩ් භාරයේ සිටීම දරුවාගේ රෝගී තත්ත්වයට බාධාවක් කියලා හෝ දරුවාගේ මානසික සෞඛ්‍යයට බාධාවක් කියලා කිසිදු වෛද්‍ය වාර්තාවකින් දක්වලා නැහැ. දරුවාගේ රෝගී තත්ත්වයට පියාගේ රැකවරණය අවශ්‍යයි කියලා කිසිදු ලේඛනයක් නැහැ. එවන් අවස්ථාවක මේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරුධත්වය ප්‍රකාශ කරනවා.
මෙම නඩුව සවස් කාලයේදී විභාගයට නොගෙන පෙරවරුවේදී අධිකරණය හමුවේ කැඳවන ලෙසට 12 වැනි සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඉල්ලීමක් කළ බවට අධිකරණයේදී කරුණු වාර්තා වූ අතර, එහිදී අධිකරණයේ පවතින අනෙකුත් නඩු හේතුවෙන් නඩුව දහවල් 12.30ට ආරම්භ කිරීමට අධිකරණයෙන් නියම විණි.
මෙම නඩුවේ රතු වරෙන්තු නිකුත්වී සිටින විදෙස්ගත 09 වැනි සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නීතිඥ රහුල් ජයතිලක මහතා සඳහන් කර සිටියේ තම සේවාදායකයා වෙනුවෙන් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසය. එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ එම සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට ලබා දුන් ලිඛිත දේශන මෙතෙක් විමර්ශනය කර නියෝගයක් ලබා නොදී ඇති බැවින් ඒ පිළිබඳව සලකා බැලිය නොහැකි බවය. එමෙන්ම එහිදී දිගින් දිගටම එම ඉල්ලීම ඉල්ලමින් නීතිඥවරයා කරුණු ඉදිරිපත් කිරීම සිදු කළ අතර, අධිකරණය විහිළුවකට නොගන්නා ලෙසට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරිය එම නීතිඥවරයාට අවවාද කරමින් වැඩිදුරටත් ලිඛිත දේශන ඇත්නම් ඉදිරි දිනට පෙර යොමු කරන ලෙසට දැනුම් දුන්නාය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර එදින තෙක් නඩුව කල් තැබීමට අධිකරණයෙන් නියෝග නිකුත් විණි.
බාල ඖෂධ ගෙන්වූ බව කියන අයුසුලේට් බයොටෙක් ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන‍්, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් රණසිංහ ගුණසේකර යන සැකකරුවන් මෙම නඩුවේ සැකකරුවෝ වෙති.
මෙහි පස්වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොග පාලක සුජිත් කුමාර සහ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන යන අය පමණක් මේ වන විට ඇප මත සිටින අතර, වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන අය මෙම නඩුවේ 09 වැනි සැකකරු ලෙස නම් කර ඇත. එම සැකකරු මේ වන විට විදෙස්ගතව සිටියි.
නිමන්ති රණසිංහ