මෙරට පාසල් පද්ධතියෙන් ව්‍යවසායකත්වයට අඩිතාලම දැමීම පිණිස ලංකා කර්මාන්ත මණ්ඩලය සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව දිවයින පුරා පාසල් සමඟ ගෙන යන කර්මාන්ත දැනුම ප්‍රචලිත කිරීමේ ජාතික වැඩසටහන බොහෝ දෙනකුගේ ඇගයීමට ලක් වන්නකි. ඒ අනුව අපි දැන් දකුණු පළාතට පිවිසෙන්නයි මේ සූදානම. ගාල්ල මහින්ද විද්‍යාලය දිවයින පුරා බෞද්ධ පාසලක් වශයෙන් ප්‍රසිද්ධය. එහි කර්මාන්ත අංශය තවදුරටත් වර්ධනය කිරීමට ඉකුත් වසරේදී කාර්මික සංවර්ධන මණ්ඩලයේ සංවිධානත්වයෙන් දකුණු පළාතේ සංවිධානය කෙරුණු ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ ඇසුරෙන් ගාල්ල මහින්ද විද්‍යාලයීය සිසුන්ගෙන් ඉහළ සහභාගිත්වයක් සහ උනන්දුවක් පැවතිණ. ඒ වගට, කාර්මික සංවර්ධන මණ්ඩලයේ එම දිස්ත්‍රික් ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරිනි, මේධා දමයන්ති මහත්මිය සාක්ෂිකාරිනියකි. දැන් ඒ ඔස්සේ සිසුන් ඉදිරි නිෂ්පාදන වැඩ කටයුතු අරඹා තිබේ. ඒ යටතේ සුවිශේෂත්වයක්, ඉවතලන කඩදාසි ඇසුරෙන් ආකර්ෂණීය බෑග් නිර්මාණයට හිමි වෙයි. එහිලා තවදුරටත් ඉදිරියට යෑම එම සිසුන්ගේ අපේක්ෂාවය. ඊට තවදුරටත් පහසුකම් සැපයීම යටතේ මහන මැෂින් ඇතුළු තාක්ෂණික පහසුකම් වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බව මේධා මහත්මිය පවසයි. එපමණක් නොව, තව තවත් කර්මාන්ත ක්ෂේත්‍රයෙන් ඉහළට යෑමටත් පහසුකම් ඉදිරියේදී දීමට කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කරයි.
එය එසේ තිබියදී අපි දැන්, ගාල්ල මහින්ද විද්‍යාලයීය විදුහල්පති, රුසිර මද්දුමහේවගේ මහතාගේ මඟ පෙන්වීම යටතේ එහි සිසුන්ගේ කර්මාන්ත, ව්‍යවසාය ප්‍රවර්ධන හැකියාව, දැනුම ප්‍රවර්ධනය කිරීමේ කර්තව්‍යයේ නියැළී සිටින එම පාසලේ ආචාරිණි, අශෝකා රත්නායක මහත්මිය දැන් මුණ ගැසෙමු.
“දීප ව්‍යාප්ත වැඩසටහනක් විදියට මේ ගැන අපි වසරකට පමණ ඉහතදී මූලික අවබෝධයක් ලැබුවා. ඉන් පසුව අපට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහාය, මඟ පෙන්වීම යටතේ දිස්ත්‍රික් මට්ටමේ වැඩමුළු, සම්මන්ත්‍රණවලට අපට සහභාගි වීමට ලැබීම අප පාසල ලද ඉමහත් භාග්‍යයක්. එහිලා ව්‍යවසාය සංවර්ධන ක්ෂේත්‍රයට ළැදියාවක් දක්වන සිසුන් එකක්, 25 දෙනා බැගින් වූ කව දෙකක් පිහිටුවාගෙන ඇරඹූ ගමන මේ වන විට ඉදිරියට ඇවිත් තියෙනවා.
අපි ඉවතලන දෙයින් බෑග් නිර්මාණයට පෙලඹීම පිළිබඳ විදුහල්පතිවරයාට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනෑ. පරිසරයට හානිකර, එයින් මුදල් උපයන තැනට අද අපේ පාසල පත්වී තියෙනවා. ඊට අපට නිසි මඟ පෙන්වා දුන්නේ කාර්මික සංවර්ධන මණ්ඩලයයි.
ඒ හැරෙන්නට අපට ඉටිපන්දම්, අත්කම් නිර්මාණ, පැන්සල් පෙට්ටි නිමවුම ගැන පොදුවේ ලැබුණු පුහුණුව අපේ සිසුන් හුඟ දෙනකුට දිරියක් වුණා. දැනටත් ඒ ඒ නිෂ්පාදන කුඩා පරිමාණයෙන් වෙළෙඳපොළට යොමු කිරීමෙන් ආදායම් උපයනවා. තවදුරටත් නිෂ්පාදන වැඩි කර ගැනීම ඒ අයගේ බලාපොරොත්තුවක්.
එසේම, කඩදාසි බෑග් නිෂ්පාදනය ගැනත් කියන්ම ඕනෑ. කවර 400ක් විතර වරකට නිපදවන තැනට අපි තාක්ෂණික පහසුකම් අවම තත්ත්වයේ ඉඳන් වුණත් ඇවිත් තියෙනවා. ඒක ලොකු දිනුමක්. අනෙක, ඉවතලන කඩදාසි ඇසුරෙන් අපට තවදුරටත් ඒ නිෂ්පාදන කළ හැකියි. ඊට කඩදාසි, තාක්ෂණය රාජ්‍ය, පෞද්ගලික අංශ වලින් ලැබෙනවා නම් ඒක මේ සිසුන්ට විශාල දිරියක්. දැනටමත් ඉටිපන්දම් නිවෙසේ සිටම නිෂ්පාදනය කරමින්, ඒවා වෙළෙඳපොළට යොමු කරන සිසුන් ගණනාවක්ම අපේ පාසලේ සිටිනවා. ඒ වගේ, නිෂ්පාදන කරන ව්‍යවසායකත්වයට පිවිසෙන්නට වෙර දරන සිසුන් වෙනුවෙන්ම ඉදිරියේදී අලෙවිසල් පාසල තුළ ඇති කරන්නටත් විදුහල්පතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ කටයුතු කරමින් සිටිනවා. එය, අනෙක් සිසුන්ටත් ආදර්ශයක් වන බව පැහැදිලියි.
මේ වන විටත් 9 ශ්‍රේණියෙන් ඉහළට සිසුන් අතුරෙන් වෙනදා නොවුණු තරමේ උද්‍යෝගයක් මේ සඳහා යොමු වීමත් සමඟ, ඉදිරියේදී අපේම අනන්‍යතාවකින් යුතුව නිෂ්පාදන පෙළක්ම වෙළෙඳපොළට යොමු කළ හැකියි. අපිට ගාලු කර්මාන්ත ප්‍රදර්ශනය ආදියෙන් ඊට ලැබුණු පන්නරය වචනයෙන් කියා නිම කළ නොහැකි තරම්. කාර්මික සංවර්ධන මණ්ඩලය අපට නොමිලයේ එහි වෙළෙඳ කුටි දෙමින් කළ අතදීම නොවන්නට අපට මෙතරම් ඉක්මනින් කර්මාන්ත ක්ෂේත්‍රයට පිවිසීමට හැකි නොවන්නටත් ඉඩ තිබුණා.
විශේෂයෙන්ම ඒවායේදී අපේ සිසුන් සිසිල් බීම ආදිය ආකර්ෂණීය අයුරින් නිෂ්පාදනය කර අලෙවි කිරීමෙන් ප්‍රශස්ත ආදායමක් ලැබුවා. එම ආදායමත් ඉදිරියේදී ප්‍රාග්ධනයක් කර ගනිමින් අපට කර්මාන්ත ක්ෂේත්‍රයේ තවත් ඉදිරියට යා හැකියි. ඒත්, තවම අපි එහි ආරම්භයේ ඉන්නේ. කර්මාන්ත අංශයෙන් නැඟී එන අපේ විද්‍යාර්ථින්ට දැනුමෙන්, තික්ෂණයෙන් අත දීමට ශූර ව්‍යවසායකයන් ඉදිරිපත් වුණොත් ඒක, මේ සිසුන්ගේ හෙට දවසට අනඟි මෙහෙවරක් වනු නියතයි. ඉදල්, කොහු නිෂ්පාදනය අපේ සිසුන්ගේ තවත් අපේක්ෂාවක්. මේ වන විටත් ඊට තවදුරටත් අත දීමට කර්මාන්ත සංවර්ධන මණ්ඩලය කටයුතු කරමින් සිටිනවා. ඒ ගැනත් සතුටුයි. අපේ සිසුන්ව කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මඟින් ජාතික මට්ටමේ කර්මාන්ත ප්‍රවර්ධන උත්සව, සම්මන්ත්‍රණ, වැඩමුළුවලට සහභාගි වීමට ඉඩ දීමෙන් ඒ අයට අන්තර්ජාතික මට්ටමෙන් නිෂ්පාදන ඉදිරිපත් කිරීමට ලොකු සහායක් ලැබුණේ…’
ඒ අනුව ගාල්ල මහින්ද විද්‍යාලය කර්මාන්ත අංශයෙන් ඉදිරියට ගමන් කරන අතරතුරදී, එම දිස්ත්‍රික්කයේම තවත් පාසල් රැසක්ම විවිධ කර්මාන්ත ඔස්සේ පෙරට එමින් සිටින බව කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික් භාර මේධා දමයන්ති මහත්මිය පෙන්වා දෙයි. ඒ අනුව මූලික වශයෙන් පාසල් 20ක් පමණ වන බවත් හෙතෙම විස්තර කරයි. මහන මැෂින්, පාවහන් නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර, මැෂින් මේ පාසලට දීමට කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාගේ අවධානය යොමු වී තියෙනවා. එසේම, තවදුරටත් දකුණු පළාත වෙනුවෙන් ප්‍රතිපාදන වැඩි කිරීමටත් සභාපතිවරයා කටයුතු කරමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළාය.