Wednesday, May 14, 2025
Home » ඉරාන තානාපතිතුමනි!

ඉරාන තානාපතිතුමනි!

by sachintha
May 21, 2024 1:00 am 0 comment

අද ලෝක තේ දිනයය. උදෑසන අවදිවී ‘සිලෝන් ටී’ රසයෙන් දවස පටන් ගන්නා ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි පෙරේදා අසර්බයිජානය බලා පිටත්ව යන්නේය. ඉරානය සහ අසර්බයිජානය දේශසීමාවේ ජල විදුලිය නිපදවීම කේන්ද්‍ර කර ගනිමින් අරාස් ගඟ හරස් කර වේල්ලක් ඉදිකර තිබේ. මේ ව්‍යපෘතිය විවෘත කළ දෙරටේ නායකයෝ ඒ මත ඇවිදිමින් කතාබහ කළහ. වැඩකටයුතු නිමවා යළි සියරට බලා එන ගමනේදී ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි අවසන් ගමන් ගොස් ඇති බව දැන් සනාථ වී තිබේ.

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් වන්නේ උමා ඔය ව්‍යාපෘතියය. මෙම ව්‍යාපෘතිය ඉදි කළ කල්හි බදුල්ල දිස්ත්‍රික්කයම නාය යන්නේ යැයි උඩ පැන්න පිරිස් මධ්‍යයේ, එහි කටයුතු නිමවන ලද්දේය. පැමිණි විරෝධතා ගණන් ගත්තේ නම්, උමා ඔය සඳහා ඉතිරි වන්නේ මුල් ගලක් පමණය. හම්බන්තොට ගල සහ උමා ඔය හිල නමින් ජවිපෙ නායකයන් දෙදෙනෙක් මේ රටේ ජනතාව විසින් නම් කරන්නේ ඔය පදනම් රහිත විරෝධයට දක්වන ප්‍රතිචාරයක් ලෙසය. මෙම ව්‍යාපෘතිය නිමවූ පසු අප්‍රේල් 24 වැනිදා එය විවෘත කිරීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය. ශ්‍රී ලංකාවේ දෙදිනක් ගත කළ ඉරාන නායකයා දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම් ගණනාවකට අත්සන් තබා නික්ම ගියේය.

ඉරාන ජනාධිපති ආචාර්ය රයිසිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මේ තීරුව ඉරාන ජනතාවට සාතිශය සංවේගය පළ කරන්නේය.

ඉරාන ජනාධිපතිවරයා අතුරුදන්වීමට පෙර දිනයේ කොළඹදී මෙරට ඉරාන තානාපතිවරයා ඇබැද්දියකට මුහුණදුන්නේය. කතාව කෙටියෙන් මෙසේය.

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළට ඉරාන තානාපතිවරයා සිය වාහනය ඇතුළු කළේය. ඉරාන තානාපති ආචාර්ය අලි රිසා සමඟ එක්තරා පුද්ගලයෙක් ආරවුලක් ඇති කර ගන්නේ මේ සමඟය. පුද්ගලයා ඒ සැණින් තානාපතිවරයාට පහරදීමට සැරසුණේය. මේ අවස්ථාවේදී ඉරාන තානාපතිවරයා සිය මෝටර් රථයෙන් බිමට බැස, සැකකරුගේ මෝටර් රථයට අත තබාගෙන පොලිසිය පැමිණෙනතුරු සිටින මෙන් දැනුම් දී තිබේ. මූලග්ගින්න තද වූ ‘මේකා’ තනාපතිවරයා ද අමුණාගෙන සිය මෝටර් රථය පණගන්වා ඉදිරියට යෑමට පටන් ගෙන තිබේ.

මේ රටේ සමහර එකාලාට ‘පොඩ්ඩක් ඉවසීම’ වනාහි කරන්න බැරි වැඩකි. තදියම යන්න තදේටම වැලඳී ඇති ලෙඩකි. පාරේ යන කල ද එසේමය. එහෙන් මෙහෙන් දමමින් රේස්ම යන්නාහ. තැනකට ගිය ද ඉවසීම නැත. අවශ්‍ය වන්නේ ඉක්මනය. ඉක්මනින් යම් කටයුත්තක් කිරීම අවශ්‍ය කටයුත්තකි. එසේ වුවත් එම ඉක්මන අවශ්‍ය වන අවස්ථාව සහ ඉක්මන බැරි අවස්ථාව යන දෙකක් ඇති බව බොහෝ දෙනා දන්නේ නැත. පාරේ හැටට හැටේ යන සමහරෙක් එහෙම ඔට්ටු අල්ලන්නේ ජීවිතය සමඟය. මේ ඉක්මන නිසා වැඩිම වුවහොත් විනාඩි පහළොවකට කලින් නිවසට යා හැකිය. හැබැයි ඒ ගමනේදී ජීවිත මිස් වුවහොත් ආයෙත් කවදාවත් ගෙදර යා නොහැකිය. එහෙම ගණන් හදන තැනට බයික් සහ ත්‍රීවිල් පදින අයගේ ඔළුව සෑදී නැත. මේ ජාතියේ ‘කාර් කාරයෝ’ ද වෙත්. ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලි රිසා සමඟ ජල්ලි අල්ලන්නේ ඒ ජාතියේ ‘බඩුවකි’.

සමහර එකාලා පාරට බහින්නේ තරාතිරම ද කරේ දමාගෙනය. එක්කෝ තමන්ගේ තනතුරය. නැතහොත් වත්කම් සහ හිමිකම් ආදියය. මේවා ඒ මහතා ඔළුවේ තබාගෙන සිටින බව අපට පේන්නේ නැත. පාරේ යන අන් අයට සියලු දෙනා සාමාන්‍යය. එහෙව් විටක එකෙක් ඔළුවේ තබාගෙන ඇති දේ සඳහා සංවේදී වීමට අපට අමුතු අවයවයක් පිහිටා නැත. ධ්‍යානයට සමවැදී පරසිත් දැනීමෙහි නුවණක් පුහුදුන් අපට නැත්තේය. සමහර වුන්ගේ මේ ගතිය පිටට පෙනෙන අවස්ථා ඇත්තේය. ඒ යෝධයා ඇවිද යන්නේ අඟල් කිහිපයක් උඩින්ය. ඩ්‍රෝන තාක්ෂණයේ පිහිටෙන් මේ ආකාරයට පොළොවට යන්තම් ඉහළින් හේ ඇවිද යනවා නොවේ. අනෙක් අය වෙත තමා කෙරුමෙක් යන්න පෙනෙන පරිදි එහෙම යන්නේය. මෙහෙම යන කෙනා වෙත වාහනයක් පොඩ්ඩකට හරස් වූ විට තමන්ගේ හිතේ ඇති ‘කෝලම’ එළියට එන්නේය. වටේට බලියන්නට පටන් ගන්නේය.

ඉරාන තානාපති වෙත හයිරම දාන්නේ ඒ ජාතියේ උඩින් යන අයෙක් විය හැකිය. අනෙකා සමඟ පොදු ස්ථානයක ඉවසාගෙන හැසිරීමට දන්නේ නැති අයෙක් ඔළුවේ හෝ ගිණුමේ මොනවා තිබුණ ද වැඩක් නැත්තේය. අනෙක් අතට මේ විදේශිකයෙකි. එතුමා තානාපතිවරයෙක් බව නොදන්නේ මුත්, විදේශිකයෙක් බව දැන ගත් වන, ඒ පැත්තෙන් යම් වැරැද්දක් වුවද අප මහත්මා ගති පළ කර ඉවසාගෙන සිටිය යුත්තේය. මේ මෑන් එහෙම නැත්තේය. ඔහු දිගටම ගේම ඉල්ලා සිටියේය.

අයුතු අවහිර කිරීම, බැණ තර්ජනය කිරීම, පහරදීම සහ මිනී මැරීමට තැත් කිරීම යන චෝදනා යටතේ බී වාර්තාවක්, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා වෙත ඉදිරිපත් කිරීම හේතුවෙන් ඇප නොමැතිව ඒ මහතා දැන් ඇතුළේය.

රටක නම්බුව ‘බුදිනු පිණිස’ මේ ජාතියේ දෙදෙනෙක් ද වැඩිය. තමන්ගේ ඔළුවේ ඇති ලොකුකම එළියට ගෙන නැටුමට පැමිණි කල ඔහොම අකරතැබ්බ සඳහා ඒකා මුහුණදීම ස්වාභාවිකය. රටේ නම්බුව නාය යෑම එහෙම නැත. මේ රටට සංචාරකයෝ පැමිණෙන්නේ අප ආර්ථික වශයෙන් අන්දමන්දව සිටින මොහොතකය. විදේශිකයා යනු අපේ රටට පැමිණි අමුත්තාය. ඔවුන් අතින් අපට ප්‍රමාදයක් වුවද ඒ පැමිණීමට සහ අපගේ හික්මීමේ පණිවිඩය ලෝකයට යෑම ගැන සලකා අප ඉවසාගත යුත්තේය. එහෙම බැරි එකාලා වෙත ‘ඇප ලබා නොදී’ රටේ නම්බුව අප බේරාගත යුතුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT