Friday, May 16, 2025
Home » ජාත්‍යන්තර තේ දිනය ලොව ඉහළම ඉල්ලුමක් ඇති කළුබෝවිටියාන තේ…

ජාත්‍යන්තර තේ දිනය ලොව ඉහළම ඉල්ලුමක් ඇති කළුබෝවිටියාන තේ…

by sachintha
May 21, 2024 1:11 am 0 comment

සිලෝන් ටී ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ ලොව උසස්ම තේ ලෙසයි.මේ සඳහා එදා මෙදා තුර අපේ රටේ තේ වැවිලිකරුවන් හා අපනයනකරුවන් සිදුකළ කැපකිරීම සුවිසල්ය. අනර්ඝ තත්ත්වයෙන් යුතු තේ නිෂ්පාදනයෙන් ලෝක වෙළෙඳපොළ ජයගත් ආයතනයක් ලෙස කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව හැඳින්විය හැකිය.

අද දිනට යෙදෙන ලෝක තේ දිනය නිමිත්තෙන් ලංකාවේ ප්‍රමුඛතම තේ අපනයනකරුවකු වන කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාවට පැමිණියේ එහි ප්‍රගතිය පිළිබඳ තොරතුරු දැන ගැනීමේ රිසියෙනි.ඒ සඳහා එහි සභාපති අමින්ද රොද්‍රිගෝ මහතා අප සමඟ කතා බහට එක් විය.

 කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාවේ පසුගිය වසරවල ප්‍රගතිය ආයතනයට බලපාන්නේ කුමනාකාරයෙන් ද?

රජයේ තේ කර්මාන්ත ශාලාවක් වන කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව මඟින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය සඳහා ඇති වටිනාකම තවත් වර්ධනය කිරීමට සමත් වී තිබෙනවා. ආයතන ඉතිහාසයේ මෙතෙක් ලබාගත් වැඩිම ආදායම වාර්තා කිරීමට පසුගිය වසරේදී හැකිවීම මෙන්ම තේ වෙන්දේසියේ දී වැඩිම මිලක් ලබා ගැනීමට හැකිවීම ආයතනය ලද ජයග්‍රහණයක් හැටියට හඳුන්වන්න පුළුවන්. 2022-2023 අවුරුද්ද තමයි ආයතනයේ වැඩිම ආදායමක් සහ වැඩිම ලාභයක් ඉපැයීමට සමත් වූ වසර වෙන්නේ. ඒ වගේම 2023-2024 වසර දෙවැනි වැඩිම ආදායමක් වාර්තා කිරීමට හැකි වූ වසර ලෙස ඉතිහාසයට එක් වෙනවා. මේ වසර දෙක තමයි ආයතනයේ දශක තුනකට වැඩි ඉතිහාසයේ වැඩිම ආදායම් ලැබූ කාලයන් ලෙස වාර්තා වෙන්නේ.

කොවිඩ් වසංගතය කාලයේ සිටම විවිධ වූ අභියෝගයන්ට මුහුණදීමට අපට සිදු වුණා. ඊට පසුව පොහොර ගැටලුවට මුහුණදීමට සිදු වුණා. එයට අමතරව රටේ ආර්ථික අර්බුදය වගේම ලෝකයේ පැවැති ආර්ථික අර්බුදයන්ටත් මුහුණදෙන්න වුණා. මේ නිසා අපනයනය සඳහා ලෝක ආර්ථික තත්ත්වයත් දැඩි බලපෑමක් කළා. ඒ කෙසේ වෙතත් අපේ කළුබෝවිටියාන කියන සන්නාමය කුමන තත්ත්වයන් යටතේ වුවත් අපි දිගින් දිගටම හොඳ තත්ත්වයක පවත්වාගෙන ගියා. ඒ නිසා ගැනුම්කරුවන්ගේ තිබෙන ඉල්ලුම දිගටම පවත්වාගෙන යෑමට අපට හැකියාව ලැබුණා.

 ඔබේ ආයතනයේ තේ විශිෂ්ට තත්ත්වයෙන් යුතු තේ බවට පවසන්නේ කුමන කාරණා යටතේද?

වසරේ පැවැති තේ වෙන්දේසිවලින් භාගයක දී පමණ අපේ කාණ්ඩයේ තේ වලින් වැඩිම මිලක් ලබා ගැනීමට හැකි වුණේ අපේ කළුබෝවිටියාන සන්නාමය යටතේ ඉදිරිපත් කළ තේවලට වීම අපේ තේවල තත්ත්වය ගැන තක්සේරුවක් ලබා දෙනවා. මෙහිදී අපට වැඩි මිලක් ගැනීමට හැකියාව ලැබුණේ කළුබෝවිටියාන තේවල ඇති තත්ත්වයේ අනර්ඝත්වය නිසයි.

ඒ වගේම බොහෝ වසරවල අපේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය සඳහා තත්ත්ව සම්මාන ලබා ගැනීමටත් අපට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම ලංකාවේ ඉතාමත් ඉහළ වෙළෙඳ සන්නාම යටතේ ඇති තේ නිෂ්පාදකයන් පවා අපේ තේ මිලදී ගන්නේ ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මක භාවය ඉහළ නංවා ගැනීමට ඇති වුවමනාව නිසයි.අපේ ආයතනයෙන් තේ වර්ග කර වෙළෙඳපොළට නිකුත් කරන අතර ප්‍රධාන ලෙසම CTC ලෙස හා සාම්ප්‍රදායික ලෙස සකසන ලද තේ කොළ වර්ග මේ අතර වෙනවා. CTC යටතේ ප්‍රධාන තේ වර්ග 5ක් හා සාම්ප්‍රදායිකව සකසන තේ කාණ්ඩය යටතේ තේ වර්ග 20ක් පමණ වෙළෙඳපොළට නිකුත් කරනවා. මේ එකිනෙක වර්ග, එකකට එකක් වෙනස් රසයන්ගෙන් යුත් තේ වීම විශේෂත්වයක්.

 ඔබේ ආයතනය සඳහා තේකොළ ලබා ගැනීමට වෙනම වතුයායක් තිබෙනවද? ඒ කුමන ප්‍රදේශයක ද?

අපේ ආයතනය වතු යායක් පවත්වාගෙන යන්නේ හෝ එක් වතු යායකින් තේ කොළ මිලදී ගැනීමක් කරන්නේ නෑ. අපි ඒ සඳහා යොදා ගන්නේ වෙනත් ක්‍රමවේදයක්. කුඩා තේ වතු හිමියන්ගෙන් අපි තේ දලු මිලදී ගෙන ඒ දලු සැකසීමෙන් තමයි අපගේ නිෂ්පාදන කරන්නේ. මෙහිදී අපි ව්‍යාපාරයක් කරන ගමන් සමාජ මෙහෙවරකුත් කරනවා.

කුඩා පරිමාණයෙන් තමාගේ කුඩා ඉඩම්වල, ගෘහාශ්‍රිතව තේ වගාකරන ගොවීන්ගෙන් අපි තේ දලු මිලදී ගෙන ඔවුනට හොඳ මිලක් මේ සඳහා ලබා දෙනවා. රජයේ ආයතනයක් හැටියට අපි කුඩා තේ වතු හිමියන්ටත් ස්තුතිවන්ත වෙනවා උසස් තත්ත්වයේ දලු නිෂ්පාදනය කරනවාට. ඒ වගේම ඔවුන් දිරිගැන්වීමට හා ඔවුන්ගේ ආර්ථිකයට ශක්තියක් වීමට හැකිවීම ගැනත් අපට සතුටුයි.

අපේ තේ කර්මාන්තශාලා කළුබෝවිටියාන, හිනිදුම, දෙරණගල, මැණික්දිවෙල ප්‍රදේශවල පිහිටුවා තිබෙන අතර ඒ ප්‍රදේශවල සිටින කුඩා තේවතු හිමියන් අපේ කර්මාන්ත ශාලාවලට ඔවුන්ගේ තේ දලු දෙනවා. ඒවාට ඉහළ මිලක් ලබාදීමට අපට මේ වෙද්දී හැකියාව ලැබී තිබෙනවා.

 කළුබෝවිටියාන තේවල ඇති ගුණාත්මක භාවය රඳවාගෙන ලාභ ඉපැයීමේ කාර්ය සිදු කිරීම යම් අභියෝගයක් වුණාද?

ඇත්තටම යම් නිෂ්පාදනයක ගුණාත්මක භාවය දිගින් දිගටම පවත්වාගෙන යෑම යම් අභියෝගයක්. ඒ වගේම එම ගුණාත්මක බව රඳවා ගනිමින්ම එම නිෂ්පාදනයෙන් ලාභ ලැබීමත් අභියෝගයක්. ඒ වගේම තේ නිෂ්පාදනය කියන්නේ ඉහළ තරගකරුවන් බොහොමයක් සිටින ක්ෂේත්‍රයක්.

මෙය රජයේ ආයතනයක් වුවත් වෙළෙඳපොළේ දී අපට තරග කිරීමට සිදු වී තිබෙන්නේ පෞද්ගලික අංශය සමඟයි. මේ නිසා අපි අපේ ආයතනයේ කාර්යක්ෂමතාව වැඩි කළ යුතුයි. මේ සඳහා අපේ ආයතනය නවීකරණය කිරීමටත්, වියදම හැකි තරම් පාලනය කිරීමටත් කටයුතු කරනවා. මේ විදියට කටයුතු කිරීමෙන් තමයි අපට පසුගිය වසරවල ලබා ගත් ජයග්‍රහණවලට හිමිකම් කීමට හැකි වුණේ. ඒ නිසා අපි ඉතාමත් සූක්ෂමව මේ දේවල් කාලයක් තිස්සේ අධ්‍යයනය කිරීමෙන් පිරිවැය අඩුකිරීමටත් නිෂ්පාදනයේ ගුණාත්මක බව ක්‍රම ක්‍රමයෙන් ඉහළ නැංවීමටත් කටයුතු කරනවා.

මෙහිදී නිෂ්පාදනයේ තත්ත්වය ඉහළ මට්ටමක රඳවා ගැනීමට කටයුතු කළ යුත්තේ තේ වෙන්දේසිවල දී නිෂ්පාදනයේ ගුණාත්මක භාවය අනුව මිල තීරණය වන නිසයි. එහිදී හොඳ මිලක් ලබා ගැනීමට නම් හොඳ තත්ත්වයේ නිෂ්පාදනයක් වෙළෙඳපොළට නිකුත් කළ යුතුයි. ගැනුම්කරුවන් අතර ඒ වෙනුවෙන් ඉල්ලුමක් ඇති වන්නේ එවිටයි. වැඩි ඉල්ලුමක් පවතින විට නිෂ්පාදනයට ඉහළ මිලක් ලබා ගැනීමට හැකියි.

දශක තුනකට අධික කාලයක් කළුබෝවිටියාන තේ සන්නාමය යටතේ ඇති අපේ නිෂ්පාදනවල ගුණාත්මක භාවය දියුණු කිරීම සඳහාත්, නව තාක්ෂණය යොදා ගැනීමටත් අපි ආයෝජනය කරනවා. නිෂ්පාදනයේ තත්ත්වය ඉහළ යෑමත් සමඟ ලැබෙන මිල ඉබේම ඉහළ යනවා.

 කළුබෝවිටියාන තේ ගැනුම්කරුවන් වන රටවල් ගැන සඳහන් කරනවා නම්..

අපේ ප්‍රධානම ගැනුම්කරුවා වන්නේ රුසියාවයි. ඊට අමතරව අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, සිරියාව, තුර්කිය, අසර්බයිජානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඉරාකය, සවුදි අරාබිය, ලිබියාව, චීනය සහ ඉන්දියාවත් අපේ තේ ලබා ගන්නා රටවල් අතර සිටිනවා.

 දේශීය ගැනුම්කරුවන්ටත් කළුබෝවිටියාන තේ මිලදී ගැනීමේ හැකියාව තිබෙනවාද?

දැනට සුළු වශයෙන් දේශීය වෙළෙඳපොළට අපේ නිෂ්පාදන නිකුත් කරනවා. අපි ඉදිරියට අපේ නිෂ්පාදන තවත් වැඩි ප්‍රමාණයක් දේශීය ගැනුම්කරුවන් වෙනුවෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමට අදහස් කරනවා. ඒ වෙනුවෙන් දැනට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපි සූදානම්. ඒ මඟින් කළුබෝවිටියාන තේවල රස විඳගැනීමට දේශීය පාරිභෝගික ජනතාවටත් හැකියාව ලැබෙනවා.

දිනෙන් දින තත්ත්වයෙන් ඉහළට යන කළුබෝවිටියාන තේ රස විඳීමට නුදුරේදීම ඔබටත් හැකියාව ලැබේවි. සිලෝන් ටී නාමය පහළට යා නොදී තත්ත්වයෙන් ඉහළ නිෂ්පාදන මඟින් ශ්‍රී ලාංකේය ආර්ථිකයට ශක්තියක් වෙමින් පවත්වාගෙන යන කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව දිනෙන් දිනම තම ප්‍රගතිය කරා ගමන් කරමින් සිටී.

සටහන – අයන්ති උඩුගම්පල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT