ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පත්කොළගොල්ල ග්‍රාම සේවා වසමේ වෙහෙරබැඳිහින්න පුරාණ රජමහා විහාරස්ථානයේ ගරාවැටී තිබෙන චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු පුරාවිද්‍යා නිලධාරීන් විසින් ආරම්භ කරනු ලැබීය. එම චෛත්‍යය ක්‍රි.ව.164ත් ක්‍රි.ව 192ත් අතර කාලවකවානුවේ විසූ මලිතිය (කණිට්ඨ තිස්ස ) රජු දවස ඉදිකරන ලද්දක් බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති. එම චෛත්‍ය බිමේ පුරාණ ගිරි ලිපි 07ක් ඇති බව සඳහන්වේ. එම ලිපිවල විහාරයේ පරිභෝජනය සඳහා අමුණු 06ක් රජු විසින් පූජා කර ඇති බවත් සඳහන් වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිකරන ලද පුවරුවක සඳහන් වෙයි.
පුරාවිද්‍යා නිලධාරීන් හා පත්කොළගොල්ල ග්‍රාමයේ සුබසාධක හා අවමංගල්‍යාධාර සමිතියේ සහය ඇතිව දැනට ලැබී ඇති ගොඩනැගිලි ද්‍රව්‍යවලින් චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු කරගෙන යයි. ඒ සඳහා ගඩොල් 95,000ක් අවශ්‍ය බව විහාරාධිපති ගලේවෙල ධර්මදූත මධ්‍යස්ථානාධිපති හා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය වටගල ජනානන්ද හිමියෝ පැවැසූහ. දැනට ඒ සඳහා ගඩොල් 20,000ක් පමණ සැදැහැවතුන්ගෙන් ලැබී ඇති අතර ඉතිරි ප්‍රමාණය සඳහා බැතිමතුන්ගේ සහය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව උන්වහන්සේ පැවැසූහ. මීට අමතරව මූල්‍ය ගැටලු නිසා චෛත්‍යය ඉදිකිරීමට අවශ්‍ය ගඩොල් මෙන්ම සිමෙන්ති, වැලි ආදිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සපයා දෙන්නේ නැත. ඒ සඳහා ද සැදැහැවතුන්ගේ දායකත්වය උන්වහන්සේ බලාපොරොත්තු වෙති.
පසුගිය කාලයේ මෙම චෛත්‍යය නිදන් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබූ බව ප්‍රදේශවාසීහු පවසති. පසුව මෙම ස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වටගල ජනානන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණි. මෙම චෛත්‍යය කුඩා කඳු මුදුනක් මත ගල් තලාවක පිහිටි දර්ශනීය බිමක ඉදිකර ඇත. ප්‍රදේශවාසීහු මෙම ස්ථානයේ ‘පුංචි මිහින්තලය’ නමින්ද හඳුන්වති. මෙහි ඇති විශේෂත්වය නම් සුදුහඳුන් වනයක් මැද මෙම විහාරස්ථානය පිහිටා තිබීමයි. එම බිම් ප්‍රමාණය අක්කර 20ක් පමණ බව විහාරාධිපති හිමියෝ පැවැසූහ. එම බිමේ ගල්කණු ගොඩනැඟිලිවල නටබුන්, පොකුණු හා ගිරිලිපි ද දක්නට ලැබේ. මෙම සියලු පුරාවස්තු මතු පරම්පරාවට ආරක්ෂා කර දීමට පියවර ගැනීම බලධාරීන් ඇතුළු බෞද්ධ ජනතාවගේ වගකීම හා යුතුකමයි. මේ පිළිබඳව වැඩි විස්තර විහාරාධිපති හිමියන්ගේ 071-5304598 යන දුරකතනයෙන් දැන ගත හැකිය.
ගලේවෙල මධ්‍යම සමූහ