අම්පාර දිස්ත්‍රික්කයේ දමන කොට්ඨාසයේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය වැසී ගොස් කැලෑවෙන් යටවීම නිසා හරිහමන් මිලක් නැතිව නන්නත්තාර වී සිටින බව මඩවලලන්ද කිරි ගොවීහු පවසති. ජීවන අරගලයට මුහුණ පා සිටින ඔවුන් පවසන්නේ සතුන් ඇතිකිරීමේදී ගැටලු රැසක් නිර්මාණය වී ඇති බැවින් කිරි ගොවි කර්මාන්තය කරගෙන යාමට පවතින බාධා මඟහරවා ගැනීමට රජයේ අවධානය යොමු විය යුතු බවය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ධනුෂ්ක රූබසිංහ මහතා, කිරිවලට ගෙවන ගාණ මදි. ගැනුම්කරුවන් උකු ගතියෙන් වැඩි කිරි ඉල්ලනවා. ඒත් වහින කාලයට එසේ කිරි දෙන්න අමාරුයි. පින්න වැඩියි. ළපටි තණකොල තමයි කිරි හරකුන්ට කන්න දෙන්නේ. ඒ නිසා ලීටරයට ගෙවන ගාණ වැඩි කරන්නේ නෑ. ගොවි පවුල්වල නඩත්තුවත් සතුන්ගේ නඩත්තුවත් දෙකම කරන්නේ කිරි ලීටරයට ලැබෙන මිල අනුවයි. දැන් කාලේ වියදම් අධිකයි. මෙවැනි අමාරුකම් උඩයි අපි මේ කිරිගොවි කර්මාන්තය කරන්නේ. පුළුවන් නම් ලීටරයට 250ක්වත් වැඩි කරන්න කියලා ඉල්ලනවා.
වජිරා දීපානි මහත්මිය – අපි දන්න කාලෙ ඉඳලා කිරි ගොවි කර්මාන්තය කරනවා. ජීවත් වෙන්නේ මේ රස්සාවෙන්. ලයිට් බිල්, වතුර බිල් පවා ගෙවන්නේ කිරි සල්ලිවලින්. ළමයින්ගේ අධ්‍යාපන කටයුතුවලට සහ අමතර පන්ති ගාස්තුවලට විශාල මුදලක් ඕනෑ.
බී. ප්‍රේමදාස මහතා – මම අවුරුදු 30ක් විතර කිරි නිෂ්පාදන කටයුතු කරනවා. මේ පළාත හරිම දුෂ්කරයි. දැන් ජීවන වියදම වැඩි නිසා කිරි ගවයින් නඩත්තු කරලා ජීවත් වෙන්න අමාරුයි. මුල් කාලේ ලීටරය රුපියල් 60ට 70ට 80ට පුද්ගලික වෙළෙන්දෝ ඉල්ලගෙන ගියා. කිරි එකතු කරන මධ්‍යස්ථානයත් වැහිලා ගියා විතරක් නෙවෙයි ඒක දැන් මහ කැලේකින් වැහිලා තියෙනවා. දැන් ලණුවක් ගන්නත් රුපියල් 1000ක් විතර යනවා. මාස දෙක තුනෙන් හරකුන්ට ලණු දාන්න ඕන.
ගොවි සංවිධානයේ ලේකම් එස්. ශාන්ත මහතා – කිරි ගොවීන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ ඉන්නවා. සෑම අයකුම සතුන් හත් අටදෙනා ඇති කරනවා. සතුන්ට නීත්‍යනුකූල තණබිමක් නෑ. නම් කළ තණබිමක් රජයෙන් ලබා දී තිබුණත් ඒක නිසියාකාරව වෙන් කරලා දීලා නැහැ. ඒ නිසා වගා බිම් ආශ්‍රිතව තමයි සතුන් දක්කාගෙන ගිහින් ඇති කරන්නේ. යම් හැටියකින් වගා පාළුවක් වුණොත් ඒකට වන්දි ගෙවන්න ඕනෑ. ඒ නිසා කිරි ලීටරයට සොච්චමක් ලැබිලා වැඩක් නෑ. රුපියල් 250ක් වත් ලැබිය යුතුයි. ගාල් හදන්න ඕනෑ. පැටවුන් රැකගන්න ඕනෑ. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ නැතිව කවදාවත් මේවායින් ගොඩඒමක් නෑ.
ගුණදාස හව්පෙ ලියනගේ මහතා – මම කිරි මිල දී ගැනීමේ මධ්‍යස්ථානයේ සමාරම්භයේ සිට මෙම සමිතියේ සභාපති ලෙස කටයුතු කළා. මෙම ගොඩනැගිල්ල සහ එහි දේපළ යුරෝපා සංගමයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණා. මෙම ස්ථානයට ගොවීන් ගෙනැත් දෙන කිරි මිල්කෝ ආයතනය මිල දී ගත්තා. දින 15කට වරක් ගොවීන්ට මුදල් ගෙවීම් කළා. මමයි ඒ සල්ලි ගෙනත් බෙදා දුන්නේ. ඒ කාලේ ලීටරයට රුපියල් 90/ක් ගෙව්වා. පසුව රුපියල් 75ට 80ට මිල බැස්සා. ගොවීන් කල්පනා කළා අපි මිල්කෝ එකට අඩුවට කිරි දීලා වැඩක් නෑ. ලොරිවලින් එන වෙළෙන්දන්ට දීලා ලීටරයට 100/- 120/- ගන්න පුළුවන් නිසා ඒ අයට දීලා වැඩි මිලක් ලබා ගත්තා. මම වැඩ කරන කාලේ මෙතනට දවසට කිරි ලීටර් 500ත් 1000ත් අතර ප්‍රමාණයක් එකතු වුණා. පසුව මෙම මධ්‍යස්ථානය වැහිලා ගියා. ලක්ෂ ගාණක් වටිනා මෙම ස්ථානය ඇතුළු එහි දේපල දැන් කැලෙන් යටවෙලා මේක මහා අපරාධයක්. කාර්යාල උපකරණ සහ වෙනත් බඩු සියල්ල විනාශ වෙමින් පවතිනවා. මෙය රජයට පවරාගෙන කිරිවලට උසස් මිලක් ලබා දීලා නැවත පවත්වාගෙන යා යුතු බවට මම යෝජනා කරනවා.
දමන සමූහ – කේ. ඒ. මෛත්‍රිපාල