Home » කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්වෙයි

කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්වෙයි

- ඇමැති රමේෂ්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

by sachintha
May 24, 2024 1:03 am 0 comment

කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහල, ගාල්ල ජාතික රෝහල ලෙස නම් කිරීමට සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ආචාර්ය, ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (23) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේය.

ඒ අනුව කොළඹ සහ මහනුවර ජාතික රෝහල්වලට අමතරව කරාපිටිය ශික්ෂණ රෝහල ද ජාතික රෝහලක් ලෙස කාණ්ඩගත වන බව ඒ මහතා කියා සිටියේය.

කරාපිටිය ශික්ෂණ රෝහල, දකුණු පළාතෙහි සහ යාබද පළාත්වල රෝගීන්හට මාතෘ සත්කාර සේවා හැර තෘතීයික සේවා සපයන ප්‍රධානතම සෞඛ්‍ය මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වන අතර, එකී පළාත්වල ප්‍රාථමික හා ද්විතීයික සෞඛ්‍ය සත්කාරක සේවා ආයතන මඟින් විශේෂඥ සේවාවන් සඳහා මෙම රෝහල වෙත රෝගීන් යොමු කිරීම සිදු කරනු ලබන බව කැබිනට් ප්‍රකාශකවරයා පැවැසීය.

රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ඉගැන්වීමේ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය ස්ථාපිත කර ඇති අතර ඒ අනුව රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි අපේක්ෂකයන් 1,100 දෙනෙකුට පමණ, ගාල්ල හෙද පුහුණු පාසලේ හෙද සිසුන් 500 දෙනෙකුට පමණ සහ ආසන්න වශයෙන් භෞත චිකිත්සකයන්, ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණඥයින් 100 දෙනෙකුට පමණ වාර්ෂිකව ඉගැන්වීමේ සහ පුහුණු කිරීමේ පහසුකම් සැපයීම මෙම රෝහල මඟින් සිදුවන බව ඇමැතිවරයා පැවැසීය.

මෙම වසර අවසන් වන විට රෝහලෙහි ඇඳන් ධාරිතාව 2,858ක් දක්වා වැඩි කිරීම මත එය කොළඹ ජාතික රෝහලට පමණක් දෙවැනි වන තෘතීයික සේවා සෞඛ්‍ය මධ්‍යස්ථානය බවට පත් වනු ඇතැයි හෙතෙම සඳහන් කෙළේය.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT