Friday, May 9, 2025
Home » ගුල්මෙටම ඇදෙන අනධ්‍යයනයෝ

ගුල්මෙටම ඇදෙන අනධ්‍යයනයෝ

by sachintha
May 24, 2024 1:00 am 0 comment

වන ගුල්මය යන්න සෞන්දර්යයේ යෙදෙන වචනයක් සේම ඒ ගැන ධර්මයේ ද සඳහන් වේ. රතන සූත්‍ර දේශනාවේ එන “වනප්පගුමබේ යථා ඵුස්සිතග්ගේ ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හෙ…” යන්නේ අර්ථය වන්නේ ‘ගිම්හාන මාසයේ, පළමු සමයේ ඇති, පිපි මල් ඇති වන වදුලක් සේ…’ යන්නය. අසිරිමත් වෙසඟේ දෙවන දිනය සමරන අද, මේ තීරුව ආරම්භ කරනුයේ ධර්මයෙන් වුවත් එහි ‘කඳ කොටස’ සපුරාම ලෞකික මාතෘකාවකි.

‘චන්දන පල්ලව කෝකිල කූජන සංගීතයේ පැටලී – සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ…’ යැයි, මහගමසේකරයන් කුණ්ඩලකේසි නාට්‍යය සඳහා රචනා කළ ගීතයේ ‘වන ගුල්ම’ යන්න ඇත්තේය. වන ගුල්ම යන්නේ අර්ථය වන්නේ පඳුරු සහිත වන ළැහැබය.

කැත කුණු බැහැර කරනු පිණිස, වැසිකිළි තනා ඇත්තේ වුවද සමහර එකාලා රිංගන්නෙම වන ගුල්මයටය. ඒ පුරුද්දය. නැතිනම් තමන්ට ‘එම ගතිය’ නොඑනා හෙයින් ‘ප්‍රොපර් වේ’ එකේ යනු බැරි හෙයින් කැලේටමැ ඇදෙන්නේය.

අනුවණ දනා දිවි ඇතිතාක් නුවණැත්තන් ඇසුරු කළත් හැන්ද ව්‍යඤ්ජනයෙහි රසය නොහඳුනන්නාක් මෙන් ධර්මය හඳුනා නොගනී. පණ්ඩිතයා මොහොතක් නුවණැත්තන් ඇසුරු කළත් දිව වහා ව්‍යඤ්ජනයෙහි රසය දැන ගන්නා සේ, ධර්මය වහා හඳුනා ගනී’ යන්න ධම්මපදයේ එන ගාථාවකි. මෙය ද අර කැලේ පැනීම සඳහා දිය හැකි අර්ථයකි.

සරසවි අනධ්‍යයන සේවකයා වනාහි දැනුම් සාගරයක නිතර ගැවසෙන අයෙකි. ශිෂ්‍යයෙක් විශේෂ උපාධියක් කළ ද විශ්වවිද්‍යාලයට යන්නේ වසර හතරකි. ඉගෙනුම පිණිස නොව රැකියාව පිණිස පැමිණියේ වුවද අනධ්‍යයන සේවක තෙමේ, සැරි සරනුයේ සරසවියේය.

මේ දිනවල සරසවි අනධ්‍යයන සේවක පිරිසෙන් එක් කොට්ඨාසයක් සැරිසරන්නේමැ ‘වන ගුල්මේය’ය. බංකොලොත් රටක රාජ්‍ය සේවක වැටුප වැඩි කර ඇත්තේ කළ හැකි දෙයක් නිසා නොවේ, කළ යුතු දෙයක් නිසාය. එසේ තිබියදී වන ගුල්මයටම ඔය පිරිස ඇදෙන්නේ, වැඩේ සඳහා කදිම තැන එතැන යැයි සිතාගෙනය.

ස්ට්‍රයික් සඳහා මේ වෙලාවේ යන පිරිස, වැඩි වැටුප් වන් දේ ඉල්ලනවා කියන්නේ තවම ඒ කොටස ජීවත් වන්නේ ගෝත්‍රික යුගයේ බවය. නැතහොත් දේශපාලන රැල්ලක් සඳහා වෙරළේ සැරිසරන බවය. මේවා සඳහා ආණ්ඩුව මොන විසඳුම් දුන්න ද අර සෙට් එක දිගටම රිංගන්නේ ගුල්මයටය.

කොවිඩ් වසංගතය හේතුවෙන් අධ්‍යාපනය සෑහෙන තරමකට ප්‍රමාද වූ දරු පිරිසක් පාසල් සහ විශ්වවිද්‍යාල දෙකේම දැන් සිටින්නාහ. මේ පිරිසට දැන් හිසරදයක් වී ඇත්තේ ‘අනධ්‍යයන සේවක ගුල්මය’ය. ‘ගලවා අතට දෙනවා කීවත් දෑස’ මේ පිරිස දිගටම යන්නේ ගුල්මය බලා හෙයින් ආණ්ඩුවකට මෙවැනි ලට පට සඳහා සුමුදු විසඳුම් ඇත්තේ නැත. ඒ සඳහා තද විසඳුම්වලට ආණ්ඩුව යන්නේ නම්, වැඩේ තවත් පත්තු වන හෙයින් එම ක්‍රියාමාර්ගය ද ගත නොහැකිය. එහෙම වූ විට සිද්ධ වන්නේ ‘රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය’ අජපල් තත්ත්වයකට පත්වීමය. අනෙක් අතට දරුවන්ගේ ජීවිත කාලය ‘ඔවුන් නොකළ වරදක් වෙනුවෙන්’ දියවී යෑමය. මේ රටේ තවම ඇත්තේ මහජනයාගේ බදු මුදලින් වැටුප් ලබන සේවකයන්, මහජනයා උකස් තබා ‘ඉල්ලීම් දිනාගැනීමට’ යෑමේ ‘ගුල්මය’ය. මේ ගැන මහජනයා අතර අප්‍රමාණ අප්‍රසාදයක් ඇත්තේ වුවත් ඒවා එළියට එන්නේ ඉඳහිටය.

අනධ්‍යයන සේවක ‘ගුල්මය’ සුව කිරීම උදෙසා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය නව ‘ඔසුවක්’ නිපදවා ඇත්තේය. ගුල්මේ බලා රිංගන පිරිස අධිකරණය බලා දක්කාගෙන ඒමේ එම කාර්යය සඳහා අත තබන ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතාය.

විශ්වවිද්‍යාල පද්ධතියේ දැන් අනධ්‍යයන සේවක වැඩවර්ජනයක් ක්‍රියාත්මකව ඇත්තේය. මේ ‘සෙතේම’ පේරාදෙණිය ද අත්විඳින්නේය. වර්ජනයට එක්ව සිටින වැඩ බලන ආරක්ෂක නිලධාරිවරයා සහ මූල්‍ය අධිකාරිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් අධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින්, ශාස්ත්‍ර පීඨ පීඨාධිපතිවරයා, මහනුවර දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළේය.

තමන් පීඨාධිපති ධුරය දරන ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට සේවා කටයුතු සිදු කරගෙන යාමට නොහැකි වන ලෙස අයුතු අන්දමින් පීඨාධිපති කාර්යාලයේත්, අධ්‍යයන දෙපාර්තමේන්තු 19 කත් කලාගාරයේත් යතුරු 21ක් නීති විරෝධී ලෙස වැඩ බලන ප්‍රධාන ආරක්ෂක නිලධාරියා තම භාරයේ තබාගෙන සිටින බව ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා මෙම පෙත්සමේ සඳහන් කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය මඟින් සංවිධානය කරන ලද අන්තර්ජාතික මට්ටමේ සම්මන්ත්‍රණ ව්‍යාපෘති තුනක් මැයි මස 31 හා ජුනි 04 දිනවල පැවැත්වීමට නියමිතව තිබේ. මේ සඳහා මුදල් ලබාදීම අනධ්‍යයන සේවක වැඩවර්ජනයට සහභාගි වී සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධිකාරිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් වළක්වා ඇති බව එහි ඇති තවත් චෝදනාවකි.

අධිකරණය ඉදිරියේ ඇති නඩුවක් හෙයින් ඒ ගැන මේ තීරුව තීන්දු දීමට යන්නේ නැත. ගුල්මෙට රිංගන උන් අධිකරණය ඉදිරියට රැගෙන යමින් මෙම සමාජයේ ‘වර්ජන’ පිළිබඳ ඇති විරෝධය නීතිය හමුවට රැගෙන යෑම සම්බන්ධයෙන් ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා වෙත මෙම තීරුව ‘තව තවත් ශක්තිය දිරිය ලැබේවා’ යැයි ප්‍රාර්ථනා කරන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT