ගුද මාර්ගයේ හෙරොයින් සඟවාගෙන සිටි දෙදෙනකු දැලේ
එළියේ ලක්ෂ 8ක් වටිනා කුඩු ඇතුළෙදී ලක්ෂ 25යි
බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් වෙත මත්කුඩු අලෙවි කිරීමට ශරීරයේ රහසිගත ස්ථානවල මත්කුඩු සඟවාගෙන සුළු වැරදිවලට ස්වේච්ඡාවෙන්ම පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත වීමේ ප්‍රවණතාවක් ඇති වී ඇතැයි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් වූ සිද්ධි දෙකක් ඉකුත් දින කිහිපය තුළදී හෝමාගම මූලස්ථාන පොලිස් වසමෙන් වාර්තා වී ඇති අතර එලෙස කටයුතු කළ පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගැනීමට හෝමාගම මූලස්ථාන පොලිසිය සමත් වී ඇත.
හෝමාගම පිටිපන හල්ගහදෙණිය ප්‍රදේශයේ නිවාස සංකීරණයක් තුළදී බන්ධනාගාරගතව සිටින පුද්ගලයකුට ලබා දීම සඳහා එම රැඳවූවාගේ මස්සිනා විසින් ගෙනැවිත් දී තිබූ හෙරොයින් මත්කුඩු ඇසුරුම් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 18 මිලිග්‍රෑම් 280ක් සමඟින් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.
හෝමාගම මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක අජන්ත මහතාට ලද විශ්වසනීය තොරතුරක් මත පිටිපන හල්ගහදෙණිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් වැටලීමේදී මෙම සැකකරුවන් හෙරොයින් පානය කරමින් මත්කුඩු ඇසුරුම් කිරීමේ යෙදී සිට ඇත. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ අදාළ මත්කුඩු තොගය ඇසුරුම් කර ශරීරයේ රහසිගත ස්ථානයක සඟවාගෙන තමන් විසින් උවමනාවෙන්ම සුළු වරදක් සඳහා පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත වන බවයි. එහිදී තමන් ශරීරයේ සඟවාගෙන බන්ධනාගාරය වෙත රැගෙන යන හෙරොයින් සඳහා ඉතා විශාල මුදලක් ලැබෙන බැවින් එය ඉතා වාසිදායක ව්‍යාපාරයක් වන බවයි. සාමාන්‍යයෙන් බන්ධනාගාරය පිටතදී ලක්ෂ අටක් පමණ වන හෙරොයින් සඳහා රුපියල් ලක්ෂ විසි පහක් පමණ බන්ධනාගාරය තුළදී ලැබෙන බවත් එම සැකකරුවන් පාපෝච්ඡාරණය කළ බව ද පොලිසිය කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිවත්තුඩුව ගලගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 30 හැවිරිදි පුද්ගලයකු, පාදුක්ක හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 29 හැවිරිදි පුද්ගලයකු සහ පිටිපන හල්ගහදෙණිය ප්‍රදේශයේ අදාළ නිවෙසේ හිමිකරු බව කියන 36 හැවිරිදි පුද්ගලයෙකි. ඒ ආකාරයෙන්ම හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ සැක සහිත ලෙස රැඳී සිටි තවත් පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවේදී ඒ ආකාරයෙන්ම සුළු වැරැද්දක් සඳහා පොලිස් අත්අඩංගුවට පත්වීමට මෙම සැකකරුවන් දෙදෙනා රැඳී සිට ඇති බවට කරුණු අනාවරණය වූ බව හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය. එම සැකකරුවන් දෙදෙනාගේ ගුද මාර්ගයේ සඟවාගෙන සිටි හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 100ක ප්‍රමාණයක් සොයා ගැනීමට ද පොලිස් නිලධාරීන්ට හැකිව ඇත. අදාළ හෙරොයින් තොගය බන්ධනාගාරයේ සිටින තම නියෝජිතයා වෙත ලබා දීමට හැකි වූයේ නම් තමන් බන්ධනාගාරගතව සිටින කාලය තුළදී උපරිම සැලකිලි ලබා ඇප මත පිටත්ව යන අවස්ථාවේදී මුදලින් ලක්ෂ ගණනක් තමන් වෙත ලැබීමට නියමිතව තිබූ බව ද එලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා පොලිසිය හමුවේ පාපෝච්ඡාරණය කළ බව ද පොලිසිය පවසයි.
හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනීත් මානවඩු මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂකවරුන් වන අජන්ත සහ චන්ද්‍රපාල මහත්වරුන් පොලිස් කොස්තාපල්වරුන් වන (102004) බණ්ඩාර, (91418) මධුභාෂණ, (84142) සුබෝධ, (10356) මධුශාන්, (52393) පුෂ්පකුමාර යන නිලධාරීහු වැටලීමට එක් වූහ.
මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි