Sunday, May 11, 2025
Home » පස්සර දෙමළ මහා විද්‍යාලයෙන් බිහිවන නව ව්‍යවසායක පරපුර

පස්සර දෙමළ මහා විද්‍යාලයෙන් බිහිවන නව ව්‍යවසායක පරපුර

by sachintha
May 27, 2024 1:40 am 0 comment

වැවිලි ආර්ථිකයෙන් ජාතික ආර්ථිකයට සුවිසල් දායකත්වයක් දක්වන බදුල්ල දිස්ත්‍රික්කයේ එම නාමකරණය වෙනස්කොට ව්‍යවසායකත්වය සහ නව නිපැයුම් තුළින් රට ස්වයංපෝෂිත කරන්නට මඟ පාදන වැඩපිළිවෙළක් සහිත ව්‍යවසායකත්වය ගොඩනැඟීමෙහි පෙර ගමන්කරු ලෙස නම් කළ හැකි පස්සර දෙමළ මහා විද්‍යාලයේ ව්‍යවසායක සමාජ සාර්ථකව ක්‍රියාත්මක වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන කාර්මික සංවර්ධන මණ්ඩලය මෙහෙයවනු ලබන පාසල් දරුවන් තුළ ව්‍යවසායකත්ව හැකියාවන් ඔප් නැංවීම සහ නව ව්‍යවසායක පරපුරක් බිහිකිරීම සඳහා වූ ජාතික ව්‍යායාමයේ නැතිනම් යෝධ දම්වැලේ එක් සාර්ථක පුරුකක් වෙමින් මේ වන විට පස්සර දෙමළ මහා විද්‍යාලය ඉදිරියෙන්ම සිටී.

ඒ අනුව කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඌව පළාත් අධ්‍යක්ෂ හරේන්ද්‍ර උපුල් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් මේ වන විට ඌව පළාතේ පාසල් 150ක ව්‍යවසායකත්වය ඉහළ නැංවීම සඳහා පාසල් ප්‍රජාව දැනුම්වත් කොට ඇත. ඒ අතරින් ප්‍රමුඛස්ථානයේ පසුවන පස්සර දෙමළ මහා විද්‍යාලය ව්‍යවසායකත්ව කව පිහිටුවා දරුවන්ගේ නව නිපැයුම් සහ ව්‍යවසායක හැකියාවන් නිෂ්පාදන භාණ්ඩයක් බවට පත්කිරීමේ සහ ඒවා පාරිභෝගික ජනතාව අතට ගෙන යෑමේ මූලික සැලසුම් සිදුකොට ඇත.

විද්‍යාලයේ විදුහල්පති කේ.එම්.සී. ප්‍රභාකරන් මහතා සිය පාසලේ දරුවන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් වැඩිදියුණු කිරීමට අනුගමනය කරන ක්‍රියාමාර්ගය පැහැදිලි කරමින් අප සමඟ කියා සිටියේ අපේ පාසලේ දරුවන් 1200ක් මෙන්ම ගුරුවරුන් හැටකට වැඩි පිරිසක් සිටින බවයි. ඒ අතරින් නව නිපැයුම් සහ නිෂ්පාදන ආර්ථිකයට දායක වීමට කැමැත්ත පළ කරන සිසුන් හඳුනාගෙන වෙළෙඳපොළ ඉලක්ක කරගෙන භාණ්ඩ හා සේවා සැපයීමක් සිදුකිරීමට සැලසුම් කොට ඇති බවයි. නුදුරේදීම පාසල් දරුවන්ගේ භාණ්ඩ හා සේවා නිපැයුම් ඇතුළත් විශාල ප්‍රදර්ශනයක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කොට ඇත.

මේ අතර ප්‍රදේශයට ආවේණික එළවළු පලතුරු ප්‍රධාන ගෙවතු වගාව සඳහා දරුවන් යොමු කරගන්නා අතර, ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රමිතියෙන් ඉහළ සහ ඉතා සාධාරණ මිලකට ජනතාවට අලෙවි කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බවද විදුහල්පතිවරයා කීය.

විද්‍යාලයේ ව්‍යවසායකත්වය ඉහළ නැංවීමේ විෂය භාර එන්. බාස්කරන් මහතා, අපේ දරුවන් මේ වන විට වැවිලි සම්බන්ධ ආර්ථික ක්‍රියාකාරකම් සිදු කරනවා. ඊට අමතරව ඇඳුම් මැසීම වැනි දේ සිදු කරනවා. තවත් පිරිසක් රොබෝ තාක්ෂණය භාවිත කරමින් නව නිපැයුම් සිදු කරනවා. මේවා ඇතුළත් කොට ප්‍රදර්ශනයක් පැවැත්වීමට අමතරව වෙළෙඳපොළ වෙත යොමු කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. එහිදී සතියේ දිනක් දෙකක් තෝරාගෙන දරුවන්ගේ නිපැයුම් අලෙවි කිරීමට පොළ ක්‍රමයක් පැවැත්වීමට සූදානම් වෙනවා. මේ සඳහා අපට ඌව පළාතේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂතුමා ඇතුළු එහි සියලු නිලධාරීන්ගේ මඟ පෙන්වීම හා උපදෙස් ලබා දෙනවා. ඔවුන් අපට ලබාදෙන මාර්ගෝපදේශ, දිරි ගැන්වීම් සාර්ථක ව්‍යවසායකත්ව සමාජය බිහිකිරීමට විශාල ශක්තියක් වී තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරි, රනිෂ්ක දිල්හාන් රත්නායක මහතා

අපේ රටේ ජාතික ආර්ථිකය දියුණුවට පාසල් මට්ටමේ සිට ලබා දෙන දායකත්වය ඉහළට නංවාලිය යුතුයි. ඒ වගේම රටේ සමස්ත ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් ආර්ථික සංවර්ධනයට යොදාගත යුතුයි. මේ අරමුණ ඇතිව වසර 2030 ඉලක්ක කොට ගනිමින් නව වැඩපිළිවෙළක් විශේෂයෙන්ම ජාතික සහ ජාත්‍යන්තරය

ජයගත හැකි ව්‍යවසායකයින් බිහිකිරීම සඳහා අප කටයුතු කළ යුතුය. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය අපට මූලික මඟ පෙන්වීම ලබා දී තිබෙනවා. අපේ සභාපතිතුමා මේ පිළිබඳව විශාල උනන්දුවක් දක්වනවා.

පාසල් දරුවන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් හඳුනාගෙන ඒවා වැඩිදියුණු කිරීමට අප කටයුතු කරනවා. එහිදී ඔවුන්ගේ නව නිපැයුම්වලට වඩාත් සාර්ථක සහ ප්‍රමිතිය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය තාක්ෂණික දැනුම, අඩු වියදම් ක්‍රමවේද අප කියා දෙනවා. එලෙස වැඩිදියුණු වූ නිර්මාණ නිෂ්පාදන භාණ්ඩයක් ලෙස වෙළෙඳපොළට ලබාදීමට කටයුතු කරනවා. පාසල් අධ්‍යාපනය නිමා වී තමන්ටම කියා ව්‍යාපාරයක්, ව්‍යවසායකත්වයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය අයෙකුට මූලික පහසුකම් සියල්ල සපුරාලීමට අප මැදිහත් වෙනවා යැයි කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරිනි ඒ.එම්. මිහිරි සඳමිණි අත්තනායක මෙනවිය කීවාය.

ඒ අනුව නව ව්‍යාපාරයක් ආරම්භ කරන පාසල් දරුවකුට රුපියල් ලක්ෂ පහක ණය මුදලක් අප ලබාදීමට කටයුතු කරනවා. රාජ්‍ය සංවර්ධන බැංකුවේ ඉතා අඩු පොලී අනුපාතයක් යටතේ මෙම ණය මුදල ලබා දෙනවා. එම ණය මුදල යොදාගෙන දිරියෙන්, ශක්තියෙන් ඉහළට ඒමට පස්සර දෙමළ මහා විද්‍යාලයේ දරුවන් ඇතුළු බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් විශාල පිරිසක් අප සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. එය අපට විශාල ශක්තියක්.

ඉතා දුප්පත් මව්පියන්ගේ දරුවන් මෙන්ම යමක් ඇති හැකි මව්පියන්ගේ දරුවකු වුව පාසල් අධ්‍යාපනයෙන්ම ඉහළට යාමට උත්සාහ දැරීම ඕනෑම රටකට සුබ පෙරනිමිත්තකි. නමුත් සැමට එකසේ අධ්‍යාපනයෙන්ම ඉහළට යාමට ඉඩකඩ හෝ වාසනා ගුණය නොපවතී. එසේ කියා අනාගත ජීවිතය ජය ගැනීම අභිලාෂ හමුවේ පරාජය වීමට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතුය. මෙම සිතිවිලි ද පෙරදැරිව අධ්‍යාපන‍යෙන් පමණක් ව්‍යවසායකත්වයෙන් පෙරට ඒමට ඉතා පැහැදිලි වැඩපිළිවෙළක් සහ දැක්මක් ඇති බදුල්ල පස්සර දෙමළ මහා විද්‍යාලයේ දරු දැරියන්ට දිනමිණ අප සුබ පැතුම් එක් කරන්නෙමු.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT