මීට වසර දෙකකට පමණ පෙර මෙරට ජනතාවට කිසිදු ආගමික උත්සවයක් හෝ වෙනත් සංස්කෘතික උත්සවයක් පැවැත්වීමට නොහැකි තත්ත්වයක් රටේ උද්ගතවී තිබු බවත්, අද වන විට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්වී ඇති බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ වජිර අබේවර්ධන පදනමේ පූර්ණ දායකත්වයෙන් සහ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් පසුගියදා (25) කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වූ බත් දන්සලට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
“මීට අවුරුදු දෙකකට පමණ පෙර අපේ රටේ ජනතාවට කිසිදු ආගමික උත්සවයක් හෝ වෙනත් සංස්කෘතික උත්සවයක් පැවැත්විමට නොහැකි තත්ත්වයක් රට තුළ උද්ගත වෙලා තිබුණා. එම තත්ත්වය අද වෙනකොට වෙනස් වෙලා. මේ දන්සලම එයට හොඳ උදාහරණයක්. එදා පෙට්‍රල්, ඩීසල්, ගෑස් පෝලිම්වල සිටි ජනතාව අද රට පුරා වෙසක් කලාප සහ දන්සල් පෝලිම්වල ඉන්නවා. එය ඇත්තමට හොඳ ආරම්භයක්. අද ජනතාවට වෙසක් බලන්න, දන්සල් යන්න පෙට්‍රල්, ඩීසල් පෝලිම්වල ඉන්න ඕනෙ නෑ. අද මවුපියන් තමන්ගේ දරුවන් එක්ක ඒ නිදහස භුක්ති විඳිනවා.
මෙවැනි තත්ත්වයක් තුළත් ඇතැම් දේශපාලන නායකයන් රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ විවේචනය කරනවා. ලංකාව පාලනය කළ නායකයන් අවුරුදු 12ක්, 10ක්, 5ක් වශයෙන් මේ රට පාලනය කළා. ඒ සෑම නායකයෙක්ම මේ රටට කුමන හෝ දෙයක් කර තිබෙනවා. නමුත් ඒ සියල්ලටම වඩා දෙයක් අවුරුදු දෙකකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ රටට කර තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ අයගේ වැරදි අඩුපාඩුත් රනිල් වික්‍රමසිංහ මහතා භාරගෙන ඒ අයට දොස් නොකියා මේ රට නිවැරදි මාර්ගයට යොමු කරමින් තිබෙනවා.
එහෙනම් අපට යන්න වෙනත් මඟක් නෑ. ඒ යන පාර රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාවෙන් පෙන්වාදී තිබෙනවා. අපි යන ගමන ජාත්‍යන්තරයටත් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදී තිබෙනවා. ඔවුන් ඒ ගමන අනුමත කර තිබෙනවා. මේ රට මේ තරම් ඉක්මනට ගොඩගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ඔවුන්ගේ අගය කිරීමත් රනිල් වික්‍රමසිංහ මහතාට පළ කර තිබෙනවා. අප ඔබ මේ නිදහස භුක්ති විඳින්නේ රනිල් වික්‍රමසිංහ මහතාට පින් සිද්ධ වෙන්න.
එසේ නම් අපි තවදුරටත් බෙදී වෙන් නොවී ගහමරා ගන්නේ නැතිව රනිල් වික්‍රමසිංහ මහතා කියනවා වගේ එකට එකතු වෙලා මේ රට ගොඩගන්න පෙරට ආ යුතුයි. අපි බෙදී වෙන් වෙලා තවදුරටත් ගහගත්තොත් දුක් විඳින්න සිදු වෙන්න අපේ අනාගත දරු පරපුරටමයි. ඒ නිසා අපි තවදුරටත් එසේ නොකර අපේ අනාගත දරු පරපුරට යහපත් රටක් නිර්මාණය කරන්නටත්, අපේ රට ලෝකය හමුවේ ඔසවා තබන්නටත් සියලු දෙනාම එකට එකතුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දක්වමු.”
නෙත්මි පූජනී රත්නායක