Tuesday, May 13, 2025
Home » කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් කිරීමට කැබිනට් අනුමැතිය

කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් කිරීමට කැබිනට් අනුමැතිය

by sachintha
May 27, 2024 1:34 am 0 comment

කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස නම් කිරීමට සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල යෝජනාවකට අනුව කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව මෙරට තෙවැනි ජාතික රෝහල බවට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල පත්වන අතර, සංවර්ධිත ජාතික රෝහල් ලෙස මෙරට පවතින්නේ කොළඹ ජාතික රෝහල සහ මහනුවර ජාතික රෝහල පමණි. 1982 වසරේ රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පුහුණු මධ්‍යස්ථානය ලෙස ආරම්භ කරන ලද කරාපිටිය ශික්ෂණ රෝහල ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක සහ දකුණු පළාතෙහි යාබද පළාත්වල රෝගීන්ට මාතෘ සත්කාර සේවා හැර දකුණු පළාතේ විශාලතම තෘතීයික සේවා සපයන ප්‍රධානතම සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වේ. එකී පළාත්වල ප්‍රාථමික සහ ද්විතීයික සෞඛ්‍ය සත්කාරක සේවා ආයතන මඟින් විශේෂඥ සේවා සඳහා මේ රෝහලට රෝගීන් යොමු කරනු ලබයි.

කරාපිටිය රෝහල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් පුහුණු කිරීමේ කටයුතුවලට මේ වන විටත් වැඩි දායකත්වයක් දෙන අතර, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ඉගැන්වීමේ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය ස්ථාපිත කර ඇත. ඒ අනුව රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි අපේක්ෂකයන්, ගාල්ල හෙද පුහුණු පාසලේ හෙද සිසුන්, භෞත චිකිත්සකයන්, ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණඥයින්ට වාර්ෂිකව ඉගැන්වීමේ සහ පුහුණු කිරීමේ පහසුකම් සැපයීම මේ රෝහලෙන් සිදු කෙරේ.

මේ වසර අවසන් වන විට මේ රෝහලෙහි ඇඳන් ධාරිතාව ද 2,858ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කිරීම මත එය කොළඹ ජාතික රෝහලට පමණක් දෙවැනි වන තෘතීයික සේවා සෞඛ්‍ය මධ්‍යස්ථානය බවට පත්වනු ඇත.

ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මෙහෙයවීම සහ මඟපෙන්වීම යටතේ මේ වන විටත් රෝහලට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු මානව සහ භෞතික සම්පත් සංවර්ධනට සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩපිළිවෙළ රැසක් ක්‍රියාවට නංවමින් පවතී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT